සියලු බ්‍රිතාන්‍ය වැසියන්ගේ 'අභිලාෂයන් ඉටු කරනවා'

Image caption "බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් හැටියට අපේ මැතිවරණ පොරොන්දු සියල්ල ඉටු කරන්න දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා."

සියලු ජනමත සමීක්ෂණ ප්‍රතිඵලවලට එරෙහිව යමින් සහ සිය ප්‍රධාන ප්‍රතිවාදීන් තිදෙනාටම ඉල්ලා අස්වීමට බල කෙරුණු අනපේක්ෂිත ජයග්‍රහණයක් අත් කර ගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එක්සත් රාජධානියේ සියලු වැසියන්ගේ අභිලාෂයන් උදෙසා රට පාලනය කරන බවට ප්‍රතිඥා දුන්නේය.

කොන්සර්වේටිව් පක්ෂයට දැන් පාර්ලිමේන්තුව තනිව පාලනය කළ හැකි බහුතර බලයක් ලැබී තිබෙන බැවින් තමන්ට මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට හැකියාව තිබෙන බවයි, අගමැතිවරයා කියා සිටියේ.

"අපි අපේ රටේ විශේෂ සිදුවීමක් අභියස ඉන්නවා කියල සත්තකින්ම මම විශ්වාස කරනවා. බ්‍රිතාන්‍යය වැඩ කරන්න කැමති හැම දෙනාටම යහපත් ජීවිතයක් ගෙවන්න හැකි ස්ථානයක් බවට අපිට පත් කරන්න පුළුවන්," අගමැතිවරයා පැවසීය.

"බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් හැටියට අපේ මැතිවරණ පොරොන්දු සියල්ල ඉටු කරන්න දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා."

Image copyright BBC World Service
Image caption ස්කොට්ලන්තයේ ආසන 59 න් ආසන 56 ක්ම දිනා ගනු ලැබුවේ ස්කොට්ලන්ත ජාතික පක්ෂය විසින්

ස්කොට්ලන්තය වෙනුවෙන් තවදුරටත් බලය විමධ්‍යගත කෙරුණු ආණ්ඩුවක් ලබා දෙන බවටත් ප්‍රතිඥා දුන් අගමැති ඩේවිඩ් කැමරන්, යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන බවද සනාථ කළේය.

රටේ සියලු පුරවැසියන් ගේ අභිලාෂයන් වෙනුවෙන් රට පාලනය කරන බව සඳහන් කළ අගමැතිවරයා, එක්සත් රාජධානිය එකමුතුව තබාගන්නා බවටත් ප්‍රතිඥා දුන්නේය.

කෙසේ නමුත් ස්කොට්ලන්තයේ ආසන 59 න් 56 ක්ම ස්කොට්ලන්ත ජාතික පක්ෂය දිනාගැනීම හමුවේ මහා බ්‍රිතාන්‍යයේ බරපතල බෙදීම් පවතින බවයි, මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙන්නේ.

පක්ෂය ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව විපක්ෂනායක එඩ් මිලිබෑන්ඩ් මේ අතර නිවේදනය කළේය.

Image copyright BBC World Service
Image caption පසුගිය සභාග ආණ්ඩුවේ ආසන 47 ක් දිනා සිටි ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන 08 ක් පමණයි

"මින් ටික වේලාවකට පෙර මම ඩේවිඩ් කැමරන්ට කතා කරලා සුභ පැතුවා. මේ ප්‍රතිඵලය සහ මැතිවරණයේදී අපේ පරාජය ගැන මම පූර්ණ වගකීම භාරගන්නවා," ඩේවිඩ් මිලිබෑන්ඩ් පැවසීය.

පසුගිය සභාග ආණ්ඩුවේ කොන්සර්වෙටිව් පක්ෂයේ හවුල්කරුවා වූ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගැනීමට සමත් වුනේ ආසන අටක් පමණයි.

පරාජයේ වගකීම භාරගෙන හිටපු උප අගමැති නික් ක්ලෙග් ද පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් විය.

යූකිප් හෙවත් UK Independence පක්ෂය සහ හරිත පක්ෂය එක් ආසනය බැගින් දිනා ගෙන තිබෙන නමුත්, ආසනයක් දිනා ගැනීමට අපොහොසත් වූ යූකිප් පක්ෂයේ නායක නයිජල් ෆරාජ් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර