බංගලාදේශ බ්ලොග් අඩවි කරුවකු ඝාතනයට

බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය අදේවවාදීයකු වූ, බංග්ලාදේශ ජාතික, අනන්ත බිජෝය්(Ananta Bijoy) දාස් ඝාතනය කොට තිබේ.

මෙය මේ වසරේදී වාර්තාවූ එවන් තුන්වැනි ඝාතනයයි.

මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් පිරිසක් විසින් ඔහු මන්නා වලින් කපා කොටා මරා දමා ඇති බවටයි වාර්තාවන්නේ.

ඔහු, සිය ‘මුක්තෝ මොනා’ නමින් හැඳින්වෙන බ්ලොග් අඩවියේ ඉස්ලාම් ආගමට එරෙහි ලිපිද පල කොට තිබිණ.

මෙම බ්ලොග් අඩවියේ මෙහෙයවන්නා ලෙස කටයුතු කළ අවිජිත් රෝය් ඉකුත් පෙබරවාරි මාසයේ දී ඝාතනය කෙරිණ.

Image copyright BBC CHINESE

මේ අතර, ආගමික හැඟීම් වලට හානි ගෙන දෙන සහ අශ්ලීල දර්ශන බ්ලොග් අඩවියක පල කිරීම හේතුවෙන් සිංගප්පූරු තරුණයකුද වරදකරු බවට පත් කොට තිබේ.

ඔහු 16 හැවිරිදි අමොස් යී (Amos Yee).

සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස සැලකෙන ලී කුවාන් යූ සහ කිතුනුවන් විවේචනයට ලක් කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවක්.

එසේම, ලී කුවාන් යු සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැතිනිය මාගරට් තැචර් ලිංගිකව හැසිරෙන ආකාරයට සකස් කරන ලද දර්ශනයක් ද ඔහු බ්ලොග් අඩවියේ පල කොට තිබිණ.

මෙම දර්ශනය බ්ලොග් අඩවියේ ප්‍රසිද්ධියට පත් කොට තිබුණේ අගමැති ලී කුවාන් යු අභාවප්‍රාප්ත වී එරට ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබියදී යි.