බුරුන්දි රජය පෙරළීමට කුමන්ත්‍රණයක්

Image copyright Reuters

බුරුන්දි ජනාධිපති පයිරේ කුරුන්සිසාට පක්ෂ හමුදා කණ්ඩායම් මගින් මේ වන විට බුජුම්බුරා අගනුවර පිහිටා තිබෙන ගුවන් තොටුපල, ජනපති නිල නිවස, ජාතික ගුවන් විදුලි සේවය ඇතුළු නගරයේ වැදගත් ස්ථාන කිහිපයක බලය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

ඊයේ (බදාදා) බුරුන්දි රජය පෙරළීමට සංවිධානය කළ කුමන්ත්‍රණයේ ආධාර කරුවන් විසින් ජනාධිපති කුරුන්සිසාට නැවත බුරුන්දියට පැමිණීමට නොහැකි වන ලෙස බුජුම්බරා ගුවන් තොටුපල අවහිර කර තිබුණි.

Image copyright

ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය බුජුම්බරා ගුවන් තොටුපලට පැමිණියේ ටැන්සානියාවේ පැවති කලාප සමුළුවට පසුවයි.

ඊයේ රාත්‍රිය පුරා නගරයේ බලය තහවුරු කිරීමට උත්සාහ කළ ජනපතිට විරුද්ධ හමුදා කණ්ඩායම් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ අතර බුජුම්බරා නගරයෙන් තවමත් නොනවත්වා වෙඩි හඬ ඇසෙන බවයි වාර්තා වන්නේ.

Image copyright AFP

බුරුන්දි ජාතික රූපවාහිනිය මේ වන විට විකාශය නොවන නමුත් තවමත් ජාතික ගුවන් විදුලිය විකාශය කෙරෙන බවයි පැවසෙන්නේ.

මෙම ගැටුම් වලට මූලික හේතුව වී තිබෙන්නේ, ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපති කුරුන්සිසා තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ කිරීමයි.