අන්දමන් මුහුදේ අනාථයන් ජීවිතය සහ මරණය අතර

සංක්‍රමණිකයන් රැඳී සිටින යාත්‍රාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

සංක්‍රමණිකයන් රැඳී සිටින යාත්‍රාව

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉතා දැඩි නව පිළිවෙත නිසා එම ජනතාව බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දී සිටින බව තායිලන්තයෙන් ඔබ්බෙහි ‘අන්දමන්’ මුහුදේ සිටින බීබීසී මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කරයි.

තායිලන්ත නාවික හමුදාවේ උදව් පතන මුහුදේ අතරමං වී බෝට්ටුවක සිටින සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් පසු වෙන තත්වය ඉතා ඛේදජනක බවයි එම වාර්තාකරු කියා සිටින්නේ.

එම සංක්‍රමණිකයන් ආහාර සහ පානීය ජලය ඉල්ලා ආයාචනය කරමින් සිටින අතර ඔවුන්ට ඔවුන්ගේ මුත්‍රා පානය කරමින් පිපාසය සංසිඳවා ගැනීමට සිදු වී ඇති බවත් බීබීසී වාර්තාකරු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආහාරපාන නොමැතිව වැතිර සිටින අනාථයන්

බෝට්ටුව තුල අනාථව සිටින ජන සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙතයි ඇස්තමේන්තු කෙරෙයි.

ඔවුන් රැගෙන ආ බෝට්ටුවේ කාර්ය මණ්ඩලය එන්ජිම අක්‍රිය කොට යාත්‍රාව අත්හැර දමනු ලැබීමෙන් අනතුරුව එම සංක්‍රමණිකයන් මේ වන විට සතියක පමණ කාලයක් මුහුද මද අතරමං ව සිටින බවයි වාර්තා කෙරෙන්නේ.

තායිලන්තය ,මැලේසියාව සහ ඉන්දුනීසියාව එම රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමේ දැඩි පිළිවෙතකට යාමෙන් අනතුරුව මෙබඳු බෝට්ටු රැසක් මුහුද මැද හිර වී ඇති බවත් වාර්තා වෙයි.