ගෘහ සේවිකාවන් සැපයීමේ පමාවට දිනකට රියාල් සීයක දඩයක්

Image copyright AFP
Image caption බඳවා ගන්නා කාන්තා ශ්‍රමිකයන් ගණන මුළු බඳවා ගැනීම් සංඛ්‍යාවෙන් 25% කට නොඅඩු විය යුතු බවයි සෞදි රජය පවසන්නේ

විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම සඳහා යන අධික වියදම අධ්‍යයනය කිරීම පිණිසත් විදේශ වලින් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී 'ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට' අයත් අනෙක් රටවල් වලට වඩා වැඩි ගාස්තු රැකියා නියෝජිත ආයතන වලට ගෙවන්නේද යන්න සංසන්දනාත්මකව සොයා බැලීම පිණිසත් සෞදි අරාබි රජයේ කම්කරු අමාත්‍යංශය විසින් ගවේෂණ කණ්ඩායමක් පත්කරනු ලැබ තිබෙන බව “ඇරැබ් නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව මෙම කණ්ඩායම විසින් දැනටමත් බංග්ලාදේශයෙන් සහ නයිජර් රාජ්‍යයෙන් විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ගාස්තු සඳහා සීමාවක් පනවා ඇති අතර අනෙකුත් රටවල් අතර වන පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවලට අදාළ ගාස්තු සීමාවන් අධ්‍යයනයෙන් පසුව නිකුත්කිරීමට නියමිතව තිබේ.

බඳවා ගැනීමේ කාලය

සේවකයකු බඳවා ගැනීම සඳහා රැකියා ලබාදෙන ආයතන වලට ලබා දී ඇති උපරිම කාලය දින 60 කට සීමා කර ඇති අතර රැකියා කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමේ දී රැකියා ලාභියා විසින් ගෙවිය යුතු වන්නේ මුළු ගාස්තුවෙන් 25% ක් පමණක් බවට ද සීමාවක් පනවනු ලැබ තිබේ.

ඉතිරි මුදල ගෙවිය යුතු වන්නේ සෞදි රාජ්‍යයට පැමිණ රැකියාව ඇරඹීමෙන් පසු ලැබීමට නියමිත වැටුප පිලිබඳ ලිඛිත දැනුම්දීමක් රැකියා නියෝජිත ආයතනය මගින් සැපයීමෙන් අනතුරුව අයැදුම් කරුවාගේ රටේ සෞදි තානාපති කාර්යාලය මගින් වීසා බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

රියාල් 100 ක දඩයක්

දින 60 ක කාලයක් තුළ සේවකයකු සේවා ස්ථානය වෙත යැවීමට අපොහොසත් වන රැකියා නියෝජිත ආයතන පමාවන එක් දිනක් සඳහා සෞදි රියාල් 100 ක් බැගින් රියාල් 3000 කට නො වැඩි දඩයක් ගෙවිය යුතු අතර බඳවා ගැනීමේ කාලය නියමිත කාල සීමාවට වඩා දින 30 ක් පමා වන්නේ නම් කොන්ත්‍රාත්තුව අවලංගුවේ.

එසේ කොන්ත්‍රාත්තුව අවලංගු වුව හොත් රැකියා නියෝජිත ආයතනය මගින් අය කර ගත් මුදල් අයැදුම් කරු වෙත ලබාදිය යුතුවේ.

'කාන්තා ශ්‍රමිකයන් ඕනෑ'

මෙසේ බඳවා ගැනීම් ප්‍රමාද වීමට හේතුව ගෘහ සේවිකාවන්ට වඩා පුරුෂයන් බඳවා ගැනීමට එම ආයතන කටයුතු කිරීම බව පැවසෙන හෙයින් සෞදි කම්කරු අමාත්‍යංශය නවදිල්ලි, ධකා, හැනොයි සහ කොළඹ සෞදි තානාපති කාර්යාලවලට නියම කර ඇත්තේ බඳවා ගන්නා කාන්තා ශ්‍රමිකයන් ගණන මුළු බඳවා ගැනීමේ සංඛ්‍යාවෙන් 25% කට නොඅඩු විය යුතු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර