ඉන්දියාව: දරාගත නොහැකි උණුසුමට 'ජීවිත 500ක් බිලි'

Image copyright AP
Image caption අලහාබාද් ප්‍රදේශයේ වාර්තාගත උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටක්

ඉන්දියාව පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටට ආසන්න වී තිබේ.

බොහොමයක් මරණ වාර්තා වී තිබෙන්නේ තෙලගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් යන දකුණු ඉන්දීය ප්‍රාන්තවලින්.

Image copyright Reuters
Image caption අධික උණුසුමෙන් ගැලවී සිටීම සඳහා ගංගාවලට පැන දිය නාන ගුජරාටයේ තරුණයින්

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහාබාද් ප්‍රදේශයේ වාර්තාගත උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටක් වන තර දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් හතර දක්වා ඉහළ ගොස් තිබේ.

හැකිතාක් පිටතට නොගොස් නිවෙස් තුළ රැඳෙමින් දියර පානය කිරීමට උත්සාහ කරන මෙන් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඉහත කී දකුණු ඉන්දීය ප්‍රාන්තයන් තුළ පසුගිය අප්‍රේල් මස මැද භාගයේ සිට අධික උෂ්ණත්වයක් පවතින අතර බොහොමයක් මරණ වාර්තා වී ඇත්තේ පසුගිය සතිය ඇතුළතදීයි.

උෂ්ණාධික තත්වය තවත් දින කිහිපයක් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.