ඕස්ට්‍රේලියාව IS සටන්කරුවන්ට නීති දැඩි කරයි

සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාම් අන්තවාදීන් සමග සටන් වැදෙන ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අහෝසි කිරීමට අවශ්‍ය නීති සති කිහිපයක් තුල සම්පාදනය කිරීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

සම්පාදනය කිරීමට නියමිත නව නීතිය යටතේ කිසියම් පුද්ගලයෙකු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සැක කරුවෙකු වීම ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අහෝසි කිරීමට ප්‍රමාණවත් අතර එම පුද්ගලයාට විරුද්ධව පෙර අපරාධ චෝදනා හෝ වැරදි ඔප්පු වී ඇතිද යන්න සලකා නොලැබෙන බවයි පැවසෙන්නේ.

Image copyright EPA

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසන්නේ මේ වන විට ඉස්ලාම් අන්තවාදීන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් සීයකට අධික සංඛ්‍යාවක් සටන් වැදෙමින් සිටින අතර ඔවුන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයකට ද්විත්ව පුරවැසිභාවය ඇති බවයි.

පැනවීමට සුදානම් නව නීති විදේශීය නීති වල ආභාෂය ලද ඒවා වන අතර විශේෂයෙන් පාදක කොට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය නීතියයි.