සංක්‍රමණික අර්බුදය: මියන්මාරය සහ එක්සත් ජාතීන් විවාදයක

Image copyright epa

රෝහින්ග්‍යා ජන සමූහය සම්බන්ධයෙන් මියන්මාරය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් එරට බලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර විවාදයක් හට ගෙන තිබේ.

සංක්‍රමණිකයන් වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ උප මහා කොමසාරිස් වෝකර් ටර්ක් ආසියානු සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් පැවති රැස්වීමේ දී පවසා තිබෙන්නේ මියන්මාරය සිය රටේ වෙසෙන පුද්ගලයන් වෙනුවෙන් සම්පුර්ණ වගකීම භාර ගත යුතු බවයි.

මියන්මාරය රෝහින්ග්‍යා ජනතාව සිය රටේ පුරවැසියන් ලෙස පිළි නොගනියි.

නමුත් එම රැස්වීමේ මියන්මාරය නියෝජනය කළ හ්ටින් ලින් කියා සිටියේ ජාත්‍යන්තරය විසින් සිය රට මෙම ප්‍රශ්නයේ දී තනි නොකළ යුතු අතර මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරන ජාවාරම් කරුවන් වන බවයි.

පසුගිය මාසයේ මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්ත වෙරළට සංක්‍රමණිකයින් දහස් ගණන් ලඟා වූ අතර තවත් සිය ගණනක් සංක්‍රමණිකයින් තවමත් අන්දමන් මුහුදේ බෝට්ටු වල සිරව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.