බීජිං: දුම්වැටි පානය තහනම්

Image caption ප්‍රසිද්ධියේ දුම්වැටි පානය කිරීමට ඉඩ ලබා දෙන ව්‍යාපාරික ස්ථානවලට ඩොලර් එක්දහස් හයසීයක දඩ මුදලක්

චීනයේ බීජිං අගනුවර තුළ ප්‍රසිද්ධියේ දුම්වැටි පානය තහනම් කිරීමට නගර බලධාරීහු කටයුතු කරති.

පනවනු ලැබූ නව නීතිය හරහා ප්‍රසිද්ධ ස්ථාන ඇතුළත, පාසල් ඉදිරිපිට, රෝහල් සහ ක්‍රීඩාංගණ ඇතුළත හා පිටත දුම්වැටි භාවිතය තහනම් වේ.

චීනය තුළ මිලියන තුන්සීයකට අධික පිරිසක් දෛනිකව දුම් පානය කරන අතර දුම්වැටි ආශ්‍රිත රෝග වැළඳීම හේතුවෙන් වාර්ෂිකව මිය යන පිරිස මිලියනයකට අධිකයි.

දුම්වැටි භාවිතය පාලනය කිරීම සඳහා අගනුවර බලධාරීන් උත්සාහ ගත් පළමු අවස්ථාව මෙය නොවන බවයි බීජිං අගනුවර සිටින බීබීසී වාර්තාකරු මාර්ටින් පේෂන්ස් කියා සිටියේ.

දුම්වැටි භාවිතය තහනම් කෙරෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂකවරු දහස් ගණනක් සේවයේ යෙදී සිටිති.

නීතිය කඩ කරන්නන් හට ඩොලර් තිහක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ.

දුම්වැටි භාවිතය හේතුවෙන් ඉහළ යන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වැය වන පිරිවැය හේතුවෙන් මෙවැනි නීතියක් ගෙන ඒමට චීන ආණ්ඩුවට බල කෙරුණු බව දුම්වැටි විරෝධී ක්‍රියාධරයෝ පවසති.