මැලේසියානු ගුවන් සමාගම පණ අදින තත්වයක

Image copyright Reuters

සිය වෘත්තිකයන් හයදාහක් සේවයෙන් ඉවත් කරන බව මැලේසියානු ගුවන් සමාගම නිවේදනය කරයි.

ඉවත් කිරීමට යන සේවක සංඛ්‍යාව එම සමාගමේ සමස්ත වෘත්තිකයන්ගෙන් තුනෙන් එකකි.

සේවකයන් දොට්ට දැමීමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක්වූ මැලේසියානු ගුවන් සමාගමේ ජර්මන් විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් මුලර්(Christoph Mueller) කියා සිටියේ සමාගම අය-වැය පාලනය කර ගත නොහැකි මට්ටමින් බංකොලොත් වී ඇති බවයි.

ගත වූ දෙවසරකට අඩු කාල සීමාව ඇතුළත මැලේසියානු ගුවන් සමාගමට සිය යානා දෙකක්ම අහිමි විය.

ඉන් එක යානයක්(MH 370) පසුගිය වසරේ මාර්තු මාසයේ ‘ක්වාලාලම්පුර්’ අගනුවර සිට චීනයේ ‘බේජිං’ කරා මගීන් 239 ක්ද රැගෙන පියාසර කරමින් තිබියදී ගුවනේ දී අතුරුදහන් වූ අතර ඊට සිදු වූ දෙයක් තවමත් අනාවරණය කර ගත නොහැකි මට්ටමකයි පවතින්නේ.

Image copyright AFP
Image caption යුක්‍රේන් ගුවන් පථයේදී මිසයිල් ප්‍රහාරයකට ලක් වූ මැලේසියානු යානය.

ඉන් මාස හතරකට පසුව 2014 ජුලි මාසයේ දී මැලේසියානු ගුවන් සමාගමට අයත් අංක MH 17 යානය 295 ක් පමණ මගීන්ද සමඟ යුක්‍රේන් ගුවන් පථයේ දී සැක සහිත මිසයිල් ප්‍රහාරයකින් විනාශ විය.

නෙදර්ලන්තයේ ‘ඇම්ස්ටඩෑම්’ නුවර සිට ‘ක්වලාලාම්පුර්’ බලා පියාසර කරමින් තිබිය දීයි එම මිසයිල ප්‍රහාරය එල්ල කෙරුණේ.

මැලේසියානු ගුවන් සමාගම බංකොලොත් වීම කෙරෙහි එම සමාගමේ අකාර්යක්‍ෂම මූල්‍ය පරිපාලනයත් හේතු වූ බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.