සූර්ය බලශක්ති යානය හදිසියේ ගොඩබායි

Image copyright Reuters
Image caption ජම්බෝ ගුවන් යානයක් තරම් පළල වුවත්, සාමාන්‍ය මෝටර් රථයක් තරම් සැහැල්ලු මේ යානයට පියාසර කළ හැක්කේ මඳ සුළං සහිත කාලගුණයක් පවතින්නේ නම් පමණයි

සූර්ය ශක්තියෙන් ලොව වටා චාරිකාවක යෙදීමේ ප්‍රයත්නයක නිරත වී සිටින සෝලාර් ඉම්පල්ස් (Solar Impulse Two) යානයට අයහපත් කාලගුණය හේතුවෙන් ජපානයේ නගෝයා ප්‍රදේශයට ගොඩබෑමට සිදු වී තිබේ.

සිය චාරිකාවේ අභියෝගාත්මකම කොටස වන නැගෙනහිර චීනයේ සිට හවායි දක්වා වන දින හයක චාරිකාව සඳහා තවත් දිනක් පමණක් ඉතිරිව තිබියදී යානයට මෙසේ ගොඩබාන්නට බලකෙරුණු බව ෂැන්හායි නුවර සිටින බීබීසී වාර්තාකරු ජෝන් සඩ්වර්ත් වාර්තා කරයි.

පළලින් ජම්බෝ ගුවන් යානයක් තරම් විශාල වුවත්, සාමාන්‍ය මෝටර් රථයක් තරම් සැහැල්ලු මේ යානයට පියාසර කළ හැක්කේ මඳ සුළං සහිත කාලගුණයක් පවතින්නේ නම් පමණයි.

ඉතා අඩු වේගයකින් පියාසර කරන යානයේ සූර්ය කෝෂවලට සූර්යයාගෙන් උපරිම ශක්තිය ලබාගැනීම පිණිස පැහැදිලි අහසක් තිබීමත් අත්‍යවශ්‍ය සාධකයක්.

එහෙත් ශාන්තිකර සාගරයේ පවතින සීතල කාලගුණ තර්ජනයෙන් බේරීමට සෝලාර් ඉම්පල්ස් යානයට හැකියාවක් නොලැබෙනු ඇති බවයි දැන් පෙනී යන්නේ.

එබැවින් ගමන යළිත් ආරම්භ කරන්නේ කෙලෙසද, කවදාද යන්න සලකා බලා අවසාන තීන්දුවක් ගන්නා තුරු යානය ජපානයට ගොඩබෑමට එහි කාර්ය මණ්ඩලය තීරණය කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර