දකුණු කොරියාව: 'මර්ස්' වෛරසය සමග සටනක

Image caption මර්ස් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළඳ සිටින දකුණු කොරියානුවන්

මර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය රෝගීන්ගේ සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

වෛරසය ශරීර ගත වූ තවත් පුද්ගලයන් විසි තුන් දෙනකු හඳුනා ගත් බවයි බලධාරීන් මීට ඉහතදී කියා සිටියේ.

ඒ අනුව දකුණු කොරියාව තුළ මර්ස් වෛරසය වැළඳුණු බවට හඳුනා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව අසූ හත දක්වා ඉහළ ගොස් තිබේ.

මර්ස් වෛරසය වැළඳුණු බවට හඳුනා ගත් පළමු රෝගියා සෞදි අරාබියේ සංචාරයකට ගොස් නැවත දකුණු කොරියාවට පැමිණි ව්‍යාපාරිකයෙක්.

සෝල් අගනුවර පිහිටි රෝහලකින් එම රෝගියාට ප්‍රතිකාර ලබා දී තිබේ.

දෙදහස් දොළහ වසරේදී මර්ස් වෛරසය වැළඳුණු රෝගීන් ප්‍රථම වරට වාර්තා වූයේ සෞදි අරාබියෙන්.

මර්ස් වෛරසය ආසාදනය වීම හේතුවෙන් උණ, ශ්වසන අපහසුතා, නිව්මෝනියාව සහ වකුගඩු රෝග ඇතිවිය හැකියි.