mosul life
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෝසුල්: ඉස්ලාමීය රාජ්‍ය යටතේ ජීවිතය කෙබඳු ද ?

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් වෙතින් ඉරාකයේ මෝසුල් නගර වැසියන්ගේ ජීවිතවලට එල්ල වී ඇති බලපෑම බීබීසීය සිදු කළ ගවේෂණයකින් හෙළි වෙයි.

වීඩියෝ දර්ශන සහිත හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ කැරලිකරුවන් විසින් ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මෝසුල් නුවර බලය අල්ලා ගෙන වසරක් ගත වෙද්දීයි.

බීබීසී වාර්තාකරු ගාඩි සරී විසින් ලබා ගනු ලැබූ රහසේ රූගත කරන ලද වීඩියෝ දර්ශන තුළ දැක්වෙන්නේ අතහැර දැමූ පාසල්, සිය සිරුරු සම්පුර්ණයෙන් ආවරණය කර ගන්නා ලෙස කාන්තාවන් වෙත බලපෑම් කෙරෙන ආකාරය සහ ආගමික ස්ථාන පුපුරවා හැර දමන අයුරුයි.

ඉස්ලාමීය නීතිය අන්තවාදී තලයක තබා කටයුතු කරන කණ්ඩායමේ දඬුවම්වලට ලක් වෙතැයි බියෙන් ජීවත් වන බව මෝසුල් නගර වැසියෝ මේ අතර පවසති.

ඉරාක හමුදා වෙතින් එල්ල වෙතැයි බලාපොරොත්තු විය හැකි ප්‍රහාරයකට ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ගේ සුදානම පිළිබඳවත් නගර වැසියෝ විස්තර කළහ.

පසුගිය වසරේ මාස කිහිපයක් පුරා රූගත කරන ලද වීඩියෝ දර්ශන හරහා ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය යටතේ ගෙවෙන ජීවිතවල සත්‍ය ස්වභාවය හෙළි කෙරේ.

කාන්තාවන්ට බලපෑම්

සිය ශරීරය සම්පුර්ණයෙන් ආවරණය වන සේ සකසන ලද ඇදුම්වලින් සැරසිය යුතු කාන්තාවන්ට නිවසින් බැහැරව පිටතට යෑමට අවසර ඇත්තේ පිරිමි ඥාතියකු සමග පමණයි.

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයේ අවශ්‍යතාවයන්ට සරිලන සේ සකසන ලද ඇඟලුම්වල මිළ ගණන්ද වේගයෙන් ඉහළ ගොස් තිබේ.

සුළු ජාතීන්ට දඬුවම්

මෝසුල් නගරයේ සුළු ජාතික සහ සුළු ආගමික ප්‍රජාවන්ට අයත් නිවාස සටන්කරුවන් විසින් සිය බාරයට ගනු ලබන ආකාරයත් වීඩියෝ දර්ශනවල දැක්වේ.

සුළු ජන කොටස් බහුලව විසූ බොහොමයක් නාගරික ප්‍රදේශ මේ වන විට පාළුවට ගොස් තිබේ.

ෂියා මුස්ලිම්වරු මෙන්ම අනෙකුත් ආගම්වලට අයත් සාමාජිකයන් සහ සුළු ජන කණ්ඩායම් දඬුවම්වලට යටත් කොට තිබෙන අතර පල්ලි සහ පූජා ස්ථාන විනාශ කොට ඇති ආකාරයත් වීඩියෝ දර්ශනවල ඇතුළත්.

වසා දැමූ පාසල්

බොහොමයක් පාසල් වසා දමා තිබෙන අතර මේ දක්වා විවෘතව ඇති පාසල් තුළ උගන්වනු ලබන්නේ ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය විසින් නිකුත් කරන ලද විෂය නිර්දේශයන්.

සටන්කරුවන් විසින් ජංගම දුරකථන සංඥා කපා හැර තිබෙන්නේ පිටත ලෝකය හා පවත්වන සබඳතා සහ පුවත් ගලා ඒම වළක්වනු පිණිසයි.

සටන්කරුවන් බර අවි ප්‍රවාහනය කරන අයුරු රූප දර්ශන ඔස්සේ දැක ගත හැකියි.

ඒ අතරින් ඇතැම් අවි ප්‍රදේශයෙන් පලා ගිය ඉරාක හමුදාවට අයත් වන අතර ගුවන් ප්‍රහාර නාශක අවි ද ඒ අතර වේ.