හුදෙකලා සිර මැදිරියක වැඩිම කලක් සිටි ඇමරිකානුවා නිදහස්

Image copyright Cortesia de Angola3.org
Image caption ඇල්බට් වුඩ්ෆොක්ස්

වසර හතලිස් තුනක් තිස්සේ හුදෙකලා සිර මැදිරියක රඳවා සිටි ඇමරිකානු ජාතිකයෙකු නිදහස් කරන ලෙස එක්සත් ජනපද අධිකරණයක විනිසුරුවරයෙක් නියෝග කළේය.

හුදෙකලා සිර මැදිරියක වැඩිම කාලයක් ගත කළ ඇමරිකානුවා ලෙස සැලකෙන්නේ ඇල්බට් වුඩ්ෆොක්ස් නමැති මෙම කළු ජාතිකයි.

වසර 1972 දී ලුසියානා ප්‍රාන්තයේ පිහිටි ‘ඇන්ගෝලා’ නමින් හැඳින්වුණු අධිආරක්ෂිත සිර කඳවුරක ආරක්ෂකයෙකු මරා දැමීමේ වරදට මොහු ඇතුළු තවත් දෙදෙනෙකු වෙන් කොට හුදෙකලා සිර මැදිරියක රඳවනු ලැබිණි.

Image copyright Cortesia de Angola3.org
Image caption ‘ඇන්ගෝලා තිදෙනා’

එවක් පටන් මෙම තිදෙනා ‘ඇන්ගෝලා තිදෙනා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබේ.

එම තිදෙනාගෙන් අවසන් වරට නිදහස ලබන සිරකරුවා ඇල්බට් වුඩ්ෆොක්ස් ය.

මෙම සිරකරු පවසන්නේ දේශපාලන අරමුණු මත තමන්ට මෙම දඬුවම ලබා දුන් බවයි.

ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ කළු ජාතික සුළුතරයට පොලිසියෙන් සිදු වන කුරිරුකම්වලට එරෙහිව පිහිටුවා ගත් දේශපාලන පක්ෂයකට ඔවුන් අයත් වීමයි.

ඇල්බට් වුඩ්ෆොක්ස්ට එරෙහි නඩු තීන්තුව දෙවතාවක්ම බල රහිත කෙරුණු අතර තුන්වැනි වතාවට එය යළි විභාගයට ගැනීම ලුසියානා අධිකරණයේ විනිසුරු විසින් තහනම් කරනු ලැබීය.