ජාවාරම් කරුවන්ට මුදල් ගෙවූ බවට ඕස්ට්‍රේලියානු නිලධාරීන්ට චෝදනා

Image copyright AFP GETTY IMAGES

දේශපාලන සරණාගතයින් පිරිසක් රැගෙන ආ තමන් ආපසු ඉන්දුනීසියාව කරා හැරී යාම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු නිලධාරීන් මුදල් ගෙවූ බව අනවසර සංක්‍රමණිකයන් රැගෙන එන බෝට්ටුවක කාර්ය මණ්ඩලය පවසති.

එම බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු හැට පස් දෙනෙක් ගමන් කර ඇති අතර එම පිරිස දැනට ඉන්දුනීසියාවේ ‘රෝටේ’ දුපත කරා පැමණ සිටිති.

ඕස්ට්‍රේලියානු නිලධාරීන් ඩොලර් පන්දහස බැගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකුට මුදල් ලබා දීමෙන් අනතුරුව සිය බෝට්ටුව ඉන්දුනිසීයාව කරා යාත්‍රා කිරීමට එහි කපිතාන්වරයා එකඟ වී ඇති බවයි රෝටේ දුපතේ පොලිස් ප්‍රධානියා කියා සිටින්නේ.

මේ අතර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය මිනිස් ජාවාරම්හි නිරත වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මුදල් ලබා ගැනීමෙන් අනතුරුව බෝට්ටුවේ ගමන් මග වෙනස් කළ බව එහි ගමන් ගත් පිරිස තමන්ට තහවුරු කළ බව ඉන්දුනීසියාවේ ‘රෝටේ’ පොලිස් ප්‍රධානියා වැඩි දුරටත් පවසන්නේ.

වෙරළ සීමාව කරා ලඟා වූ බෝට්ටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාට මුදල් ගෙවා ඔවුන් ආපසු හරවා යැවීම පිළිබඳව ප්‍රංශ පුවත් සේවාව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය පීටර් ඩටෝන්ගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ තමන්ගේ ක්‍රියාන්විතයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් නොකරන බවයි.