ලෝක පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා දෙසැම්බර් මාසයේ?

Image copyright Getty

ලෝක පාපන්දු සම්මේලනයේ මී ළඟ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ හදිසි සමුළුවක් ලබන දෙසැම්බර් මාසයේ 16 වෙනි දින ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේ පැවැත්වීමට කටයුතු කෙරෙමින් පවතින බවක් බීබීසියට දැන ගැනීමට ලැබී ඇත.

පදවියෙන් ඉවත් වූ සෙප් බ්ලටර් (Sepp Blatter) වෙනුවට ලෝක පාපන්දු සම්මේලනය සඳහා නව සභාපතිවරයකු පත් කර ගනු ලැබීමේ ක්‍රියාදාමය දෙසැම්බර් හදිසි සමුළුවේ දී ආරම්භ කරනු ඇතැයි බීබීසියට ලැබී ඇති එම තොරතුරු මගින් පැවසෙයි.

හිටපු සභාපති සෙප් බ්ලටර් ලෝක පාපන්දු සම්මේලනය අභ්‍යන්තරයේ දූෂණ අපචාර පැතිර යමින් පවතින අතරවාරයේ සිය පදවියෙන් ඉවත් වීමේ තීන්දුව පසුගිය සතියේ නිවේදනය කළේය.

Image copyright Getty

1998 පටන් සභාපති පදවියේ කටයුතු කළ සෙප් බ්ලටර්ට එවැනි පියවරක් ගැනීමට සිදු වුනේ ඔහු යළිත් එම පදවියට ඡන්දයෙන් තේරී පත් වීමෙන් දින කීපයකට පසුවයි.

වසර දාහතක් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති පදවියේ කටයුතු කළ සෙප් බ්ලටර්ගේ අපේක්ෂකත්වයෙන් තොරව සිදු කෙරෙන පළමු නිලවරණය බවට මී ලඟ සමුළුව පත් වනු ඇත.

අල්ලස් සහ කළු සල්ලි ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළු දාහතර දෙනකුට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ නඩු පවරනු ලැබ ඇත.