ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘මැග්නාකාර්ටා’ මිනිස් ඉතිහාසයේ වෙනසක මුල

බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන ඓතිහාසික ‘මැග්නාකාර්ටා’ ගිවිසුම අත්සන් කරනු ලැබීමට වසර අටසීයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සමරු වැඩ සටහන් ආරම්භ වී ඇත.

‘මැග්නාකාර්ටා’ අත්සන් තබන ලද්දේ 1215 වසරේ ජුනි මාසයේ.

එවකට වංශාධිපතිවරුන් සහ පළමු ජෝන් රජතුමා අතර උද්ගත වූ බල අරගලයේ දී පළා යමින් සිටි රජු අල්ලා බලහත්කාරයෙන් ඔහු ලවා අත්සන් කරවා ගත් රජුගේ බලතල සීමා කෙරෙන ලියවිල්ලයි ‘මැග්නාකාර්ටා’ නමින් හැඳින්වෙන්නේ.

එම ඓතිහාසික ලේඛනය අලිඛිත බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිත අංගයක් මට්ටමින් පිළි ගැනීමට ලක් වෙයි.

‘මැග්නාකාර්ටා’ අටවැනි සංවත්සරය නිමිත්තෙන් අද (15)සංවිධානය කරනු ලැබ ඇති සමරු වැඩසටහන් වලට බ්‍රිතාන්‍ය රැජින සහ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ සහභාගී වෙමින් සිටිති.

තේම්ස් ගඟ අසළ

එම විශේෂ උත්සවය සංවිධානය කරනු ලැබ තිබෙන්නේ ගිවිසුම අත්සන් කෙරුණ තේම්ස් ගංගාව අසළ ‘රනිමීඩ්’ (Runnymede) තණ බිමේ.

පාලකයා වශයෙන් එතෙක් රජතුමා සතුව පැවති අසීමිත බලය පාලනයකට යටත් කිරීම, නිදහස් සහ සාධාරණ නඩු විභාග සඳහා මග හෙළි වීම සහ පසු කාලයේ මානව හිමිකම් නීතිගත කරනු ලැබීම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් දෙසට එංගලන්ත සමාජය ගමන් ගන්නා ලද්දේ 1215 ‘මැග්නාකාර්ටා’ ප්‍රඥප්තිය තුළිනි.

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආදී තවත් ලේඛන රාශියක් කෙරෙහි ද ‘මැග්නාකාර්ටා’ මගින් විශාල බලපෑමක් සිදු කොට ඇත.