හොංකොං නායකයා තේරීම ගැන චීන යෝජනාව පරාදයි

Image copyright EPA

හොංකොං හි පාලකයා තෝරා ගැනීම සඳහා චීන බලධාරීන් ඉදිරිපත් කළ නව ක්‍රියා පටිපාටිය හොංකොං මන්ත්‍රණ සභාව ප්‍රතික්‍ෂේප කරයි.

චීන බලධාරීන් ඉදිරිපත් කළ යෝජනාවට අනුව හොංකොං ජනතාවට තම නායකයා තෝරා ගත හැක්කේ චීන පරිපාලනය විසින් අනුමත කළ නම් ලැයිස්තුවෙන් පමණයි.

මෙම යෝජනාවට එරෙහිව ඡන්දය දුන් දේශපාලනඥයන් වත්මන් හොංකොං පාලක සී වයි ලුයින්ග් ගේ විවේචනයට ලක් විය.

ඔහු කියා සිටියේ හොංකොං මන්ත්‍රණ සභාව බහුතර ජනතාවගේ කැමැත්තට පිටුපා ඇති බවයි.

Image copyright Reuters

නමුත් චීන යෝජනාවට අකමැති වූ සිවික් පක්ෂයේ සම නිර්මාතෘ ඇලන් ලියෝන්ග් කියා සිටියේ නීති සම්පාදකයන් චීනයට පැහැදිලි පණිවිඩයක් දී ඇති බවයි.

චීන යෝජනාවට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීමට මොහොතකට පෙර මන්ත්‍රණ සභාවෙන් පිටව ගොස් තිබේ.

චීනය ඉහත කී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව පසුගිය වකවානුව තුළ කිහිප වතාවක්ම හොංකොං ජනතාව වීදි බැස උද්ඝෝෂණ දියත් කළෝය.

ඔවුන් කියා සිටියේ චීනය හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කරන බවයි.

Image copyright BBC CHINESE