අලියාට හොඳ කලක්?

Image copyright AFP
Image caption කෙන්යාවේ දී අත්අඩංගුවට ගත් ඇත්දළ තොගයක් ගිනිබත් කෙරෙන අවස්ථාවක් .

ඇත් දළ සඳහා අලි ඇතුන් වැඩි වශයෙන් මරා දමනු ලබන්නේ අප්‍රිකානු කලාප දෙකක බව විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.

විද්‍යාඥයන්ට අනුව එම කලාප දෙක වන්නේ මොසැම්බික් සහ ටැන්සානියාවයි.

එම හඳුනා ගැනීම සිදු කරනු ලැබ තිබෙන්නේ ඇත් දළ වලින් සහ අලි බෙටිවලින් ලබා ගත් DNA සැසඳීමෙනි.

දළ ජාවාරමට මරා දමනු ලැබීම නිසා අප්‍රිකානු අලියා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති අතර 2013 වසරේ පනස් දහසකට අධික අලි ඇතුන් මරා දමා ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

Image copyright BBC World Service
Image caption දළ සඳහා බිම හෙලන ලද අලි ඇතුන්.

අදාළ තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ‘සයන්ස්’ විද්‍යා සඟරාවේ පළ කර ඇති අතර අලුතින් හෙළිදරව් වී ඇති එම තොරතුරු දළ සඳහා අලි ඇතුන් මැරීම නතර කිරීමට ගෙන යනු ලබන ජාත්‍යන්තර ප්‍රයත්නය පල දැරීමට හේතු වනු ඇත යන්න ඉහත කී පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.