ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තාලිබාන් ප්‍රහාරයක්

Image copyright Reuters

කාබුල් අගනුවර පාර්ලිමේන්තු මන්දිරය ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කළ තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව ඇෆ්ගනිස්තාන් පොලිසිය විසින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලද බව වාර්තා වෙයි.

ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරකයන් හත් දෙනකු මරා දමන ලද බවයි.

පාර්ලිමේන්තුවට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී විසි දෙනකු පමණ තුවාල ලැබ සිටින අතර අඩු තරමින් එක් අයකුගේවත් තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

තාලිබාන් ප්‍රහාරයේ දී මන්ත්‍රීවරුන් තුවාල ලබා නැති බවත් ඇෆ්ගනිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

කැරලිකරුවන් පාර්ලිමේන්තුවට පහර දීම ආරම්භ කරනු ලැබ තිබෙන්නේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.

Image copyright Reuters

අනතුරුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව පැයකට අධික කාලයක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

නව ආරක්ෂක ඇමතිවරයකු පත් කරනු ලැබීම සිය ප්‍රහාරයේ නිමිත්ත වූ බවයි කැරලිකරුවන් පවසන්නේ.

තාලිබාන් ව්‍යාපාරය පසුගිය කාල සීමාව ඇතුළත දකුණු ඇෆ්ඝනිස්තානයේ සැලකිය යුතු මට්ටමින් පෙරට පැමිණ ඇතැයි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

ඒ අතරම, එම කැරලිකරුවන් උතුරු ඇෆ්ගනිස්තානයේද දිස්ත්‍රික්ක දෙකක් අල්ලා ගෙන ඇති බවත් වාර්තා වෙයි.