බුරුමයේ මධ්‍යගත බලය තවදුරටත් හමුදාව අතටම

Image copyright AP

මියන්මාරයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට පාර්ලිමේන්තුව ඡන්ද ප්‍රකාශ කර තිබේ.

මේ අනුව යුද හමුදාව තවමත් එහි මධ්‍ය ගත බලය බවට පත් වෙයි.

විරුද්ධ පක්ෂ නායිකා අවුන් සාන් සුචි ජනාධිපතිධුරයට පත් වීමට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පැවැත්වෙන බවයි එයින් අදහස් වෙන්නේ.

මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණයට පෙර ව්‍යවස්ථාවට සුළු සංශෝධන ගෙන ඒමට පාර්ලිමේන්තු කමිටුවක් විසින් යෝජනා ඉදිරිපත් කොට තිබුනත් ඉන් බොහොමයක් ප්‍රතික්ෂේප කොට තිබේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසු අදහස් දැක්වූ විරුද්ධ පක්ෂ නායිකා අවුන් සාන් සුචි පැවසුවේ තමන් එම ප්‍රතිඵලයෙන් පුදුමයට පත් නොවන බවයි.

බලාපොරොත්තු සුන් කර නොගන්නා ලෙස ඇය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියාය.