ඉන්දියාව නවසීලන්ත තානාපති ආපසු කැඳවයි

Image copyright hicomind.org.nz
Image caption නවසීලන්තයේ ඉන්දියානු තානාපති රවි තාපර්

ඉන්දියානු රජය නවසීලන්තයේ සිටින සිය තානාපතිවරයා ආපසු දිල්ලි නගරයට කැඳවා ඇත.

ඉන්දියානු තානාපති රවි තාපර්ගේ (Ravi Thapar) බිරිඳ ඔවුන්ගේ නිවසේ මුළුතැන්ගෙයි සේවකයකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගෙනයි එම ආපසු කැඳවීම සිදු කරනු ලැබ තිබෙන්නේ.

මේ අනුව තානාපති රවි තාපර් (Ravi Thapar) නව දිල්ලියට කැඳවා ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ සිදු කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන නවසීලන්ත පොලිසිය ඉන්දියානු තානාපති අංශයේ සේවකයෙක් තානාපති තාපාර් ගේ බිරිඳ වන ශර්මිලා තාපර් පසුගිය මැයි මාසයේ තමාට පහර දුන් බවට චෝදනා කරන බවයි කියා සිටියේ.

එහෙත් ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් කර නැති බවත් නවසීලන්ත පොලිසිය පවසයි.