ලන්ඩන් 'සමරිසි' පා ගමනට දහස් ගණනින්

Image copyright bbc

සම ලිංගික අයිතිය වෙනුවෙන් ලන්ඩන් නගරයේ පැවැත්වුන ‘ලන්ඩන් අභිමානය’ පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වූහ.

ලෝකයේ බොහෝ රටවල ජාතික කොඩි පා ගමන ඉදිරියෙන්ම රැගෙන ගිය අතර ශ්‍රී ලංකාවේ ජාතික ධජයත් ඒ අතර දක්නට ලැබුණි.

‘ලන්ඩන් අභිමානය’ සමලිංගික අයිතිය සහතික කිරීම උදෙසා යුරෝපයේ පැවැත්වුන දැවැන්ත පාගමන් වලින් එකක් හැටියටයි විචාරකයන් විසින් හඳුන්වනු ලබන්නේ.

‘සමරිසි’ අයිතිය වෙනුවෙන් පෙනී සිටින 250 කට අධික කණ්ඩායම් මෙවර පෙළපාලියට එකතු විනැයි ‘ලන්ඩන් අභිමානය’ සංවිධායකයෝ පවසති.

Image copyright GETTY

විවිධ අලංකාර ඇඳුමින් සැරසුන කාන්තාවන් සහ පුරුෂයන් ගයමින් රඟමින් පෙළපාලියේ ගමන් ගත් අතර දේදුනු වර්ණයෙන් අලංකාර කෙරුණ විවෘත දෙමහල් බස් රථ මුදුනේ ගමන් ගනිමින් සිටි කණ්ඩායම් මග දෙපස රැස්ව සිටි නරඹන්නන්ට ආචාර කරමිනුයි ගමන් ගත්තේ.

එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙලේ වාණිජ බැංකු ඒ සඳහා අනුග්‍රහ දක්වා තිබෙන ආකාරය ප්‍රචාරක පාඨ මගින් කියැවුණි.

දශ ලක්ෂයක් ජනතාව

පසුගිය වසරේ ලන්ඩන් ‘සමරිසි’පා ගමනට 750,000 කට අධික ජනකායක් සහභගී වූ අතර මෙවර එම සංඛ්‍යාව දශ ලක්ෂයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කරනු ලැබ තිබුණි.

Image copyright bbc

සිකුරාදා කුවේටයේ ටියුනීසියාවේ සහ ප්‍රංශයේ එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සැලකිල්ලට ගනිමින් ‘ලන්ඩන් අභිමානය’ සඳහා අතිරේක ආරක්ෂක විධි විධාන සැලසීමට පියවර ගත් බව ලන්ඩන් නාගරික පොලිසිය පවසයි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස එකට ආරම්භ කෙරුණ ‘ලන්ඩන් අභිමානය’ සමරිසි මහා පෙළපාලිය ලන්ඩන් නගරයේ ප්‍රධාන වාණිජ කලාපය වන ‘ඔක්ස්ෆර්ඩ් මාවත’ ඔස්සේ ගමන් ගනිද්දී එම මාර්ගය වසා දැමීමට සිදු විය.

උතුරු අයර්ලන්තය හැරුන විට එක්සත් රාජධානියේ සම ලිංගික විවාහ සඳහා දැනටමත් නීතියෙන් අවසර දෙන ලැබයි තිබෙන්නේ.