'ආරධ්‍යා ගැන පළ කරන වැරදි දේවල් ඉවසන්නේ නැහැ' - අභිෂේක්

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පී අභිෂේක් බච්චන් මාධ්‍ය අමතමින් සිය දියණිය ආරධ්‍යා බච්චන් සමාජ මාධ්‍ය තුල හාස්‍යයට ලක් කිරීම තමන් නොඉවසන බව කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ සිය ලෝලියෙකු දියණිය ආරධ්‍යා බච්චන් සහ තමන් හාස්‍යට ලක් වන පරිදි පළ කළ ට්වීටර් පණිවුඩයක් හේතුවෙන් හට ගත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එම ට්වීටර් පණිවුඩයේ දැක්වෙන්නේ ආරධ්‍යා බච්චන් සිය පියා රඟපාන ලද චිත්‍රපට වන 'ජූම් බරාබර් ජූම්' සහ 'ද්රෝන්' ප්‍රිය නොකරන බවයි.

Image copyright shetty

එමෙන්ම එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන් වන්නේ සිය මව ආශ්චර්යා බච්චන් තම පියා අභිෂේක් බච්චන් සමග විවාහ වුයේ කුමන හේතුවක් මත දැයි තමන් නොදන්නා බව ආරධ්‍යා බච්චන් පවසන බවයි.

අභිෂේක් බච්චන් පෙනී සිටින නවතම චිත්‍රපටය වන ‘ඕල් ඊස් වෙල්’ හි ප්‍රචාරක පටයේ මුහුරත් උළෙලට සහභාගී වූ ඔහු කියා සිටියේ සිය බිරිඳ මෙන්ම මව සහ පියා ප්‍රසිද්ධ චරිත වුවත් සිය දියණියට පෞද්ගලිකත්වයක් තිබිය යුතු බවයි.

මාධ්‍යය නිදහස

Image copyright PA

ඔහු වැඩි දුරටත් කියා සිටියේ සිය දියණිය සම්බන්ධයෙන් කිසිවෙකු ඒ ආකාරයෙන් කතා කිරීම හෝ ඇය හාස්‍යට ලක් කිරීම තමන්ට ප්‍රිය නොවන අතර මාධ්‍යයට කතා කිරීමට සහ ලිවීමට නිදහස තිබෙනවා සේම ඔවුන් කතා කරන දේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීමට සම්පුර්ණ අයිතිය ඔහුට ද හිමි වන බවයි.

තමන් සම්බන්ධයෙන් මාධ්‍යයේ පළ කෙරෙන ඇතැම් දේවල් තමන් ඉවසා සිටියත් සිය පවුලේ සාමාජිකයන් හාස්‍යට ලක් කිරීම හෝ ඔවුන් සම්බන්ධයෙන් වැරදි ලෙස කතා කිරීම තමන් නොඉවසන බවයි ප්‍රසිද්ධ රංගන ශිල්පී අභිෂේක් බච්චන් අවධාරණය කළේ.

අභිෂේක් බච්චන් පෙනී සිටින නවතම චිත්‍රපටය වන ‘ඕල් ඊස් වෙල්’ එළඹෙන අගෝස්තු 21 වනදා තිරගත වීමට නියමිත අතර අභිෂේක් බච්චන්ට අමතරව රිශී කපුර්, ආසින්, සුප්‍රියා පාටක් ප්‍රධාන චරිත වලට පන පොවයි.