සත්ව හැසිරීමෙන් කියවෙන භූචලන පෙරනිමිති

Image copyright AFP

සතුන් භාවිතා කරමින් භූමිකම්පා ඇතිවීම කල් තියා හඳුනා ගැනීමට කටයුතු කරන බව චීන විද්‍යාඥයෝ පවසති.

නැන්ජින් හි සත්ව උද්‍යාන වල සහ සතුන් නිදැල්ලේ හැසිරෙන වන උයන් වල පරීක්ෂණ මධ්‍යස්තාන හතක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි භූකම්පන විද්‍යාඥයින් පවසන්නේ.

එම පරීක්ෂණ මධ්‍යස්ථාන වල විද්‍යාඥයින් විසින් දහස් ගණනක් සතුන් නිරීක්ෂණය කිරීමට නියමිත අතර සතුන්ගේ හැසීරීමේ වෙනස්කම් තුලින් භූ කම්පන ඇති වීමේ ප්‍රවණතාවක් පවතීද යන්න විමර්ශනය කිරීම මෙහි අරමුණයි.

නිරීක්ෂණ මධ්‍යස්ථාන

Image copyright Getty

වාර්තාවේ පැවසෙන්නේ යුහුවතායි දිස්ත්‍රික්කයේ වන උද්‍යානයක භුමි කම්පා හඳුනා ගැනීමේ විශාල නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන අතර එහි දෙදහසක් පමණ කුකුලන්, දෙසීයක් පමණ ඌරන් සහ මත්ස්‍ය පොකුණු නිරීක්ෂණය කෙරෙන බවයි.

එම මධ්‍යස්ථානය වටා නිරීක්ෂණ කැමරා සවි කර ඇති අතර ඊට අමතරව කාර්ය මණ්ඩල සේවකයින් දිනකට දෙවරක් සතුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් භූ කම්පන මධ්‍යස්ථානයට වාර්තා කිරීම සිදු කරනු ලබයි.

නිරීක්ෂණ මධ්‍යස්ථානයක කටයුතු කරන විද්‍යාඥයෙකු වන ෂේන් සුහිජුන් කියා සිටියේ භූ කම්පනයකට පෙර කුරුල්ලන් ඉතා අසහනකාරී ලෙස හැසිරෙන අතර සිය පසුපස පිහාටු සෙලවීමට පටන් ගන්නේ සුනඛයන් ගේ හැසිරීමට සමානකම් දක්වමින් වන බවයි.

සතුන්ගේ හැසිරීමෙන් භූ කම්පන කල් තියා හඳුනා ගැනීමට හැකියාව පවතින බවට අදහස් ඉදිරිපත් වුයේ මින් කලකට පෙර සිටයි.

මින් පෙර කරන ලද නිරීක්ෂණ වලින් 2011 පේරු හි මාපකයේ 7.0 ලෙස සඳහන් වූ භූ කම්පනය හට ගැනීමට පෙර සත්ව හැසිරීමේ වෙනස් කම් හඳුනා ගෙන තිබෙන අතර ඉතාලියේ 6.3 ක් ලෙස මාපකයේ සටහන් වූ භූ කම්පනයට පෙරද සත්ව හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂණය කොට ඇති බවයි වාර්තා වන්නේ.