ග්‍රීක මුදල් ඇමතිවරයාගෙන් අභියෝගාත්මක පණිවුඩයක්

Image copyright AFP

ආර්ථික අගාධයෙන් රට මුදා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිලිබඳ ජනමත විචාරණයට දිනක් තිබියදී ග්‍රීක මුදල් ඇමති යානිස් වරෝෆාකිස් (Yanis Varoufakis)විසින් අභියෝගාත්මක පණිවුඩයක් නිකුත් කර තිබේ.

තම රටට ණය ලබා දෙන ජාත්‍යන්තර ආයතන වලට අවශ්‍යව ඇත්තේ මෙම ජනමත විචාරණයේ දී ජනතා කැමැත්ත ලබාගෙන ග්‍රීක ජාතිකයන් නින්දාවට පත්කිරීම බව ස්පාඤ්ඤයේ එල් මුන්දෝ (El Mundo) පුවත් පත සමඟ සංවාදයකට එක් වෙමින් ග්‍රීක මුදල් ඇමතිවරයා චෝදනා කළේය.

මෙම ප්‍රකාශයට පෙර ජනමත විචාරණයේ දෙපාර්ශවයටම අයිති පිරිස් තම ප්‍රචාරක කටයුතු අවසන් කළේ විශාල ජන රැලි පවත්වමින්.

ආර්ථික අගාධයෙන් රට මුදා ගැනීමේ යෝජිත ක්‍රියා පටිපාටිය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුවහොත් වඩාත් හොඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවකාශ ලැබෙන බවයි අග්‍රාමාත්‍ය ඇලෙක්ස් ශීප්‍රාරාස් (Alexis Tsipras) පැවසුවේ.

එහෙත් ඔහුගේ ප්‍රතිවාදීන් පැවසුවේ ඉදිරිපත් වී ඇති යෝජනා ප්‍රතික්ෂේප වුවහොත් එය ග්‍රීසිය යුරෝපා කලාපයෙන් ඉවත් කිරීමට හේතුවක් විය හැකි බවයි.