ග්‍රීසියේ ජනමත විචාරණය අවසන්

Image copyright AFP
Image caption සිය ඡන්දය ප්‍රකාශ කරමින් ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් කියා සිටියේ කිසිවකුටත් ජනතා කැමැත්ත නොසළකා කටයුතු කළ නොහැකි බවයි.

ආර්ථික අගාධයෙන් රට මුදා ගැනීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයේ ඡන්ද විමසීම නිමාවට පත්විය.

ඉදිරි පැය කිහිපය ඇතුලත එහි මූලික ප්‍රතිඵල ප්‍රකාශයට පත්වනු ඇතැයි අපේක්ෂිතයි.

හදිසි අරමුදල් සැපයීම සඳහා ණය දෙන ජාත්‍යන්තර ආයතන විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා පිළිබඳව ග්‍රීකවාසීන් සම සමව බෙදී සිටින හැඩක් දක්නට ලැබෙන බවයි ජනමත විචාරණයට පෙර පැවැත්වූ ජනමත සමීක්ෂණවලින් හෙළි වී තිබුණේ.

එයට පක්ෂ වුවත්, විරුද්ධ වුවත් තමන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවලින් ගොඩ ඒමට එයින් රුකුලක් ලැබෙනු නැතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙන බවද සමීක්ෂණවලින් හෙළිවිය.

Image copyright AFP
Image caption සිය ඡන්දය ප්‍රකාශ කළ ග්‍රීක කාන්තාවක්

සිය ඡන්දය ප්‍රකාශ කරමින් ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් කියා සිටියේ කිසිවකුටත් ජනතා කැමැත්ත නොසළකා කටයුතු කළ නොහැකි බවයි.

ණය දෙන ආයතන විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා ප්‍රතික්ෂේප කොට සිය ඡන්දය ප්‍රකාශ කරන මෙන් අගමැතිවරයා ප්‍රමුඛ වාමාංශික ආණ්ඩුව ග්‍රීක ජනතවගෙන් ඉල්ලා සිටියේය.

ණය දෙන ජාත්‍යන්තර ආයතන විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා 'අවමන් සහගත' බවත් ග්‍රීක ආණ්ඩුව පැවසුවේය.

නමුත් යුරෝපා නායකයන් සහ ග්‍රීසියේ විපක්ෂ කණ්ඩායම් අනතුරු හඟවා සිටින්නේ ඉදිරිපත් වී ඇති යෝජනා වලට එකඟ නොවීම ග්‍රීසිය යුරෝපා කලාපයෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර