යූ ටියුබ් හරහා කෝටිපතියෙකු වූ තරුණයෙක්

Image copyright PewDiePie
Image caption වීඩියෝ ගේම් නරඹන අතර තමන්ගේ ඉරියව් වීඩියෝ ගත කර අන්තර්ජාලයේ පල කර මුදල් ඉපැයීමයි ඔහු කරන්නේ.

ස්වීඩනයේ පුවත්පතක් වාර්තා කරන ආකාරයට අන්තර්ජාලයේ යූ ටියුබ් 'වීඩියෝ ගේම්' වල නිරතුරුවම යෙදෙන තරුණයෙකු දෙදහස් දාහතර වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් උපයා තිබේ.

විසි පස් වියැති, 'PewDiePie' නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ෆීලික්ස් ජෙල්බර්ග් (Felix Kjellberg) වීඩියෝ ගේම් නරඹන අතර තමන්ගේ ඉරියව් වීඩියෝ ගත කර අන්තර්ජාලයේ පළ කරයි.

මෙම වීඩියෝ සඳහා ඇල්මක් දක්වන්නන් ගේ සංඛ්‍යාව මිලියන 37ක් පමණ වන අතර එම සංඛ්‍යාව 'වන් ඩිරෙක්ෂන්' සහ 'ටේලර් ස්විෆ්ට්' වැනි සුප්‍රසිද්ධ සංගීත වීඩියෝවලට ඇල්මක් දක්වන්නන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝ වැඩි බවයි සඳහන් වන්නේ.

ඔහු ගේ වීඩියෝ මගින් ආකර්ෂණය කර ගන්නේ ගැටවර සහ යොවුන් වියේ පසු වන්නන් බවයි Enders Analysis නම් වෙබ් අඩවිය පවසන්නේ.

යම් කෙනෙක් යූ ටියුබ් වීඩියෝ වලින් ඒ තරම් විශාල මුදලක් උපයන්නේය යන්න සිතීමට පවා අපහසු කරුණක් වුවද එත් එක්සත් රාජධානියේ මුළු ජනගහනයෙන් අඩක් පමණ ඔහුගේ වීඩියෝ නරඹන බවයි ඔහු පවසන්නේ.

Image copyright Getty
Image caption යු ටියුබ් වෙබ් අඩවිය තුළින් මුදල් උපයන බව පවසන ජෙල්බර්ග් (Kjellberg) ඒ පිළිබඳව තම රසිකයනට ස්තුතිය පුද කරයි

ජෙල්බර්ග් (Kjellberg) අන්තර්ජාලයට එක් කළ නවතම ගේම් වීඩියෝව වන 'අගාරියෝ (Agario) නැරඹීම' පැය 18 ක කාලයක් තුළ මිලියන 1.5 ක පිරිසක් විසින් නරඹා තිබේ.

2014 වසරේ ජූලි මාසයේ දී රෙඩ්ඩිට් (Reddit) රසිකයන් පිරිසක් ඉදිරියේ ඔහු සනාථ කළේ 2013 දී තමන් 'දළ වශයෙන්' මිලියන 4 ක මුදලක් ඉපැයූ බවයි.

මිලියන 37 කට වැඩි පිරිසක් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ ඔහුගේ ක්‍රියාකාරකම් පිලිබඳ විමසිල්ලෙන් සිටින අතර තමන් උපයන මුදල් වලින් වඩා වැඩි කොටස තමන්ගේ ප්‍රයෝජනයට නොව පුණ්‍යායතන වලට පරිත්‍යාග කරන බවයි ඔහුට එරෙහිව එල්ලවී ඇති විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් ජෙල්බර්ග් පවසන්නේ.

වීඩියෝ වලට යාබදව වෙළඳ දැන්වීම් පළ කිරීම මගින් වීඩියෝ පළ කරන්නන් සඳහා කුඩා ව්‍යාපාරික ස්ථානයක් ලෙස කටයුතු කිරීම යු ටියුබ් වෙබ් අඩවිය මගින් නොකඩවා පවත්වා ගෙන යයි.

යු ටියුබ් වෙබ් අඩවිය භාවිතා කිරීමේ නීති රීති අනුව වීඩියෝ පළ කරන්නා කොපමණ මුදලක් උපයන්නේද යන්න හෙළි කිරීමට අවසර නැති නමුත් Monday gamer වෙබ් අඩවියේ ඕලජිදේ ඕලතුන්ජි (Olajide Olatunji) මෙට්‍රෝ පුවත්පතට පවසා තිබුණේ තම දෙමව්පියන්ගේ නිවස මිල දී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට හැකිවූ බවයි.

තමන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යු ටියුබ් වෙබ් අඩවිය තුළින් මුදල් උපයන බව පවසන ජෙල්බර්ග් ඒ පිළිබඳව තම රසිකයනට ස්තුතිය පුද කරයි.