HIV රකුසාගෙන් ගැලවීමට පෙත්තක්

Image copyright

HIV ආසාදිතයන්ගේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යමින් පවතියි.

ප්‍රධාන වශයෙන්ම මෙම අවාසනාවන්ත තත්වයට ගොදුරු වන්නේ සම ලිංගික පිරිමින් බවයි වාර්තා වලින් හෙළි වී තිබෙන්නේ.

අනාරක්ෂිත ලිංගික හැසිරීමට පෙර ඖෂධයක් ලබා දීමෙන් HIV වයිරසය ආසාදනය වීම වැලක් වීමට හැකිද? යන්න කාලාන්තරයක සිට ඉදිරිපත් වූ ප්‍රශ්නයකි.

නව වර්ගයේ ප්‍රතිකාර ක්‍රමයක් වන Pre-Exposure Prophylaxis ( වයිරසය ආසාදනය වීමට පෙර රෝග නිවාරණය ) HIV වයිරසය වැළඳීමට පෙර ඉන් ආරක්ෂාව සැපයීමට හැකි ඖෂධයක් වශයෙන් මේ වන විට හඳුන්වා දී තිබේ.

දශක ගණනාවක් තිස්සේ ලිංගික සෞඛ්‍ය සේවකයින් උපදෙස් ලබා දෙන්නේ HIV සහ ලිංගිකව ආසාදනය වන අනෙකුත් රෝග වලින් ආරක්ෂා වීම සඳහා උපත් පාලන කොපුවක් පැළඳීමටයි.

අනාරක්ෂිත සමලිංගික හැසිරීම්

මේ වන විට ඉතා අවදානම් ආකාරයේ ලිංගික හැසිරීම් වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර සම ලිංගික රාත්‍රී සමාජ ශාලා වල නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතය අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඉහල යාමට බලපාන ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

Image copyright Alexender Bagration

රාත්‍රී සමාජ ශාලා වල භාවිතා වන ක්‍රිස්ටල් මෙත්, GHB සහ ලිබිඩෝ වැනි කෘතිමව නිපදවන ලද නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතයෙන් ලිංගිකව හැසිරීමේ අවශ්‍යතාව ඉහළ යන අතර ආරක්‍ෂිත පියවර ගැනීමට හෝ උපත් පාලන කොපු භාවිතයට අවැසි මානසික මට්ටමක් එම පුද්ගලයන් සතු නොවේ.

නිවර්තන කලාපීය ඖෂධ සහ ස්වාස්ථ්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් අධ්‍යාපනික ආයතනය විසින් කරන ලද අධ්‍යනයකින් හෙළි වී තිබෙන්නේ, අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරුණ සෑම පුද්ගලයන් තුන් දෙනෙකුටම එක පුද්ගලයෙක් මත් ද්‍රව්‍ය වල බලපෑම යටතේ හැසිරී තිබෙන බවයි.

ලන්ඩන් නුවර සෑම සම ලිංගික පුද්ගලයින් අට දෙනෙකුට ම එක් පුද්ගලයෙකු HIV ආසාදිතයෙකි.

කිරන් ඔවුන්ගෙන් එක අයෙක්, ඔහු සිය අත්දැකීම් විස්තර කළේ ‘ක්‍රිස්ටල් මෙත් වගේ ඉතා ප්‍රබල මත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් පසු සියලුම සීමා මායිම් තමන්ගේ ඔලුවෙන් ඉවත් වෙනවා, ඒ වෙලාවට තමන් ආරක්ෂිතවද ලිංගිකව හැසිරෙන්නේ කියන එක වැදගත් වෙන්නේ නෑ’ යනුවෙනි.

කිරන් වැඩි දුරටත් කියා සිටියේ තමන් HIV ආසාදිතයෙකු බව දැන ගත් පසු සිය ජීවිතය පිළිබඳ වූ ඇල්ම අඩු වූ හෙයින් දිගින් දිගටම මත් ද්‍රව්‍ය භාවිතයට පෙලඹුණු අතර මත් ද්‍රව්‍ය වල බලපෑම යටතේ තමන් ඕනෑම ආකාරයක අවදානම් ලිංගික හැසිරීමකට එකඟ වූ බවයි.

පූර්ව රෝග නිවාරණ ක්‍රමය

Image copyright thinkstock

නව වර්ගයේ ප්‍රතිකාර ක්‍රමය වන Pre-Exposure Prophylaxis ( වයිරසය ආසාදනය වීමට පෙර රෝග නිවාරණය ) HIV වයිරසයෙන් ආරක්ෂාව සැපයීමට හැකි ඖෂධයක් වශයෙන් මේ වන විට හඳුන්වා තිබේ.

නව ඖෂධය HIV වැළඳීමට ඉතා ඉහළ හැකියාවක් ඇති පුද්ගලයන්ට ලබා දීම මගින් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර එමගින් හෙළි වී තිබෙන්නේ HIV වයිරසයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමට ඉහල හැකියාවක් මෙම නව ඖෂධය සතු වන බවයි.

ලන්ඩන් කොලේජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශීනා මැක්කොමැක් මෙම අධ්‍යනය මෙහෙයවන ප්‍රධාන මහාචාර්යවරියයි.

ශීනා මැක්කොමැක් පවසන්නේ සිය අධ්‍යනයට සහභාගී වූ පිරිමින්ගෙන් 40% ක් නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවයි.

මැක්කොමැක් මහාචාර්යවරිය කියා සිටියේ පරීක්ෂණ වලින් නව ඖෂධය ප්‍රතිඵල දායක බව සනාථ වුවත් ඖෂධයේ ප්‍රතිඵල දායක බව රැඳෙන්නේ පුද්ගල හැසිරීම මත වන බවයි.

ඖෂධය කෙතරම් හොඳ වුවත් අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පෙර පුද්ගලයින් ඖෂධය භාවිතා නොකළේ නම් HIV වැළඳීමට හැකියාව පවතී.

ලිංගික රෝග පැතිරීමේ අවදානමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව ඖෂධය 'PrEP' ( වයිරසය ආසාදනය වීමට පෙර රෝග නිවාරණය ) භාවිතය මගින් HIV ආසාදිතයන්ගේ ප්‍රතිශතය ඉතා විශාල ප්‍රමාණයෙන් පහත හෙළිය හැකි බව කියා සිටියත් විවේචකයින් පවසන්නේ නව ඖෂධය මගින් උපත් පාලන කොපු නොපැළඳ ලිංගිකව හැසිරීමට අනුබල ලබා දෙන බවයි.

Image copyright BBC wasawat lukharang

එම විවේචනයත් සමග පැන නගින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ 'PrEP' මගින් HIV හැරුණු කොට ගොනෝරියා, උපදංශය වැනි අනිකුත් ලිංගික රෝග වැලක් වීම සිදු නොකරන බැවින් නව ඖෂධය විවෘත වෙළඳ පොලට සැපයීම මගින් අනෙකුත් ලිංගික රෝග පැතිරීමේ අවදානමක් ඇති වේද යන්නයි.

මහාචාර්ය ශීනා මැක්කොමැක් පවසන්නේ 'PrEP' ඖෂධය උපත් පාලන කොපු සමග සම සමව භාවිතා විය යුතු බවයි.

මහාචාර්ය ශීනා මැක්කොමැක්ගේ අභිලාෂය නව ඖෂධය 'PrEP' බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවා හරහා ජනතාවට ලබා දීමටයි.

නමුත් මෙම නව ඖෂධය පොදු සෞඛ්‍ය සේවය හරහා ලබා දීමට ඉතා ඉහල මුදලක් වය වනු ඇති අතර දැනට ඇස්තමේන්තු කර ඇත්තේ පුද්ගලයෙකුට වසරකට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සැපයීමට පවුම් 4300 ක් වැය වන බවයි.

පැන නගින ප්‍රශ්නය වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවෙන් වූ අරමුදල් පවා බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවා වලින් කප්පාදු කෙරෙන වකවානුවක උපත් පාලන කොපු වැනි ඉතා ලාබ ආරක්‍ෂිත ක්‍රමයක් පවතිද්දී නව ඖෂධය නොමිලේ සැපයීමට රජය එකඟ වන්නේ ද යන්නයි.