උණ දළු කන කම්මැළි පැන්ඩා

Image copyright Pete Oxford NPL

විශාල සිරුරක් හිමි පැන්ඩාට උණ ශාක පමණක් ආහාරයට ගැනීමෙන් සිය ජීවිතය පවත්වා ගත හැක්කේ කෙසේද යන්න විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.

විද්‍යාඥයින් කණ්ඩායමේ අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ පැන්ඩාට උණ දළු සහ උණ පත් පමණක් ආහාරයට ගැනීමෙන් ජීවත් වීමට හැකියාව ලැබී තිබෙන්නේ ඔවුන් දිනකට වැය කරන්නේ ඉතාමත් සුළු ශක්ති ප්‍රමාණයක් පමණක් වන බැවින් බවයි.

සාමාන්‍ය පැන්ඩා සතෙකුගේ ප්‍රමාණයේ වෙනත් සත්වයෙකු දිනකට වැය කරන ශක්ති ප්‍රමාණයෙන් පැන්ඩා වැය කරන්නේ 38% ක ප්‍රමාණයක් පමණි.

විද්‍යාඥයින් පවසන්නේ පැන්ඩාවන්ගේ අඩු ශක්ති ප්‍රමාණයක් වැය වන මෙම මන්දගාමී ජීවන රටාවට ඔවුන්ගේ සිරුරේ ඉතා අඩු ප්‍රමාණයෙන් නිපදවන තයිරොයිඩ් හෝමෝනයේ සම්බන්ධතාවක් පවතින බවයි.

Image copyright PA

විද්‍යාඥයින්ට ඉතා කුතුහලය දැන්වූ කාරණාවක් වී තිබුණේ සර්ව භක්ෂක සත්වයින්ගෙන් පරිනාමණය වී තවමත් සර්ව භක්ෂක ආහාර පද්ධතියක් හිමි පැන්ඩා දිරවීමට අපහසු උණ ශාක ආහාරයෙන් පමණක් ජීවත් වන්නේ කෙසේද යන්නයි.

නව අධ්‍යනය එවැනි කුතුහලය දනවන ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු සැපයීමට සමත් වී තිබේ.

සකසුරුවම් ශක්ති පරිභෝජනය

විද්‍යාඥයින් විසින් සත්ව උද්‍යාන වල ජීවත් වන පැන්ඩා සතුන් පස් දෙනෙකු සහ වනයේ ජීවත් වන පැන්ඩා සතුන් තුන් දෙනෙකු සිය අධ්‍යනයට යොදා ගෙන ඇති අතර ඔවුන් දිනකට වැය කරන ශක්ති ප්‍රමාණය නිරීක්ෂණයට ලක් කර ඇත.

එම නිරීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ සාමාන්‍ය ක්ෂීරපායි සත්වයෙකු දිනකට වැය කරන බවට බලාපොරොත්තු වන ශක්ති ප්‍රමාණයෙන් පැන්ඩා සත්වයින් භාවිතා කරන්නේ 38%ක ප්‍රමාණයක් පමණක් බවයි.

Image copyright PA

එම ප්‍රතිශතය පැන්ඩා සතුන් මෙන්ම මන්දගාමී ජීවන රටාවක් ඇති කෝලා වලසුන් දිනකට වැය කරන ශක්ති ප්‍රමාණය වන 68% කටත් වඩා ඉතා අඩු අගයකි.

විද්‍යාඥයින් විසින් පැන්ඩා සතුන් ක්‍රියාකාරී ලෙස හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන ලද අතර දිනකට 49% ක කාලයක් පමණක් ඔවුන් ක්‍රියාකාරී වන බවත් වේගය පයකට මීටර් විස්සකටත් වඩා අඩු බවත් සොයා ගෙන ඇත.

අධ්‍යනය හරහා හෙළි වී තිබෙන තවත් කාරණාවක් වන්නේ පැන්ඩාගේ මොළය, වකුගඩු සහ අක්මාව අනිකුත් වලස් වර්ගයේ සතුන්ට වඩා කුඩා ප්‍රමාණයෙන් පිහිටා තිබෙන බවයි.