ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක් වුනේ එජාපයට නොවෙයි, යහපාලනයට - චම්පික

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළත් මෑත දිනවල එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය පිළිබඳ සිය මතවාදයන්හි වෙනසක් සිදු නොවන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව තරඟ කිරීම පිළිබඳ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මෙන්ම 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය මාස කිහිපයේදී එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනය කළ අතර ඒ පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කරනමුත් තම මතවාදයන්ගේ වෙනසක් සිදු නොවන බවයි.

‘අපි එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙලා නැහැ. අපි එක් වුණේ යහපාලනය සදහා වූ එක්සත් ජාතික පක්ෂ පෙරමුණට. එකේ තියෙන ගිවිසුමේම තියෙනවා අපේ මතවාදයන් වෙන වෙනම පවත්වා ගෙන යා හැකි බවට. අපි එක් වුණේ එක් අරමුණකට ඒ ජනවාරි 8 ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න’ අමාත්‍යවරයා පැවසීය.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරයෙක් බිහි වුවත් ඊට සරිලන පාර්ලිමේන්තුවක් බිහි නොවිම නිසා ඇතැම් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි වූ බව පවසන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවාරි 8 ජනවරමට ගරු නොකර ඉක්මන් බලය බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කිරීම එයට හේතු වූ බවයි කියා සිටියේ.