'MH17' සංවේදී සැමරුම්

Image copyright AP

යුක්රේන ගුවන් කලාපයේදී එම් එච් 17 ගුවන් යානය බිම දමා වසරක් පිරීම සිහිපත් කරමින් සංවේගී දේව මෙහෙයන් අද, සිකුරාදා රටවල් කිහිපයකදී පැවැත්විණ.

ගුවන් යානය බිම හෙලීමෙන් 298 දෙනකු මිය ගිය අතර ඉන් 193 දෙනකුම නෙදර්ලන්ත ජාතිකයන්.

ජීවිතක්ෂයට පත්වූ ඔවුන් සිහිපත් කිරීම සඳහා නෙදර්ලන්තයේ උත්සව සංවිධානය කොට තිබිණ.

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්, වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන බව ප්‍රකාශ කරමින් මිය ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයන් 38 දෙනකු සැමරීමේ එරට පැවති ගුණ සමරු උත්සව වලට නායකත්වය දුන්නේය.

එම් එච් 17 මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළු නැගෙනහිර යුක්රේනයේ ගම්මානයේ ද දේව මෙහෙයක් පවත්වන ලදී.

Image copyright Reuters

රුසියාවට පක්ෂපාතී කැරලිකරුවන් විසින් නෙදර්ලන්තයේ අගනුවර සිට කුවාලාලම්පුර් දක්වා පියාසර කරමින් තිබූ MH17 ගුවන් යානය වෙඩි තබා බිම හෙලු බවටයි බොහෝදුරට විශ්වාස කෙරෙන්නේ.

එහෙත් රුසියාව මේ චෝදනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

නැගෙනහිර යුක්රේනයේ, දනියෙස්ක් කලාපයේ සිදුවූ මෙම සිද්ධියට වග කිව යුත්තේ යුක්රේන රජයේ හමුදා බවට රුසියාව ප්‍රතිචෝදනා ඉදිරිපත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ගුණ සමරු උත්සවය පැවැත්වුනේ කැන්බරා නුවරදීයි.

පුෂ්පෝපහාර

මිය ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයන් 38 දෙනාගේ නම් කෙටූ ඵලකයක් ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වීමට ඕස්ටේලියානු අගමැති ටෝනි ඇබට් ද එක්ව සිටියේය.

කුඩා රටකට එරෙහිව තවත් රටක් කළ ආක්‍රමණයක් හේතුවෙන් අහිංසක ජීවිත බිලිවූ බවයි අගමැතිවරයා එම අවස්ථාවෙදී කියා සිටියේ.

Image copyright epa

ගුවන් යානය කඩා වැටුණු ශ්‍රබ්ඕවේ ගම්මානයේ පැවතී දේව මෙහෙයට දෙසිය දෙනෙක් පමණ සහභාගි වුහ.

ප්‍රධාන වශයෙන් කාන්තාවන් ළමුන් ඇතුළු පිරිස් ගීතිකා ගයමින් මල් පොකුරු අතැතිව පාගමනකින් එම ස්ථානයට ලඟා වූහ.

සෝවියට් යුද හමුදා ඇඳුම් වලින් සැරසුණු භටයන් ඊට ආරක්ෂාව සපයා තිබුණු බව Associated Press ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

සදාචාරාත්මක අයිතියක්

කීව් අගනුවර දේව මෙහෙයකට සහභාගිවීමට පෙර අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ පැවසුවේ ගුවන් යානය වෙඩි තබා බිම දැමූ පුද්ගලයන් සොයා ගැනීමට සදාචාරාත්මක අයිතියක් ඇති බවයි.

සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පිහිටවනු ලබන එක්සත් ජාතීන්ගේ අධිකරණයකට සහය දක්වන බව ඔහු තහවුරු කළේය.

බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ මැලේසියාව සිද්ධියට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කොට තිබේ.