මිට්සුබිෂි සමාගම යුද සිරකරුවන්ගෙන් සමාව අයදියි

Image copyright AP
Image caption ඇමරිකානු යුද සිරකරුවන් පන්සීයකට අධික පිරිසක් පතල් තුළ බලහත්කාරයෙන් සේවයේ යොදවා තිබිණි

දෙවන ලෝක සංග්‍රාමය අතරතුර ඇමරිකානු යුද සිරකරුවන් බලහත්කාරයෙන් කම්කරු සේවයේ යෙදවීම පිළිබඳ ජපාන මිට්සුබිෂි සමාගම ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියි.

එසේ සමාව අයැද සිටීම ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.

සිය ආයතනයට අයත් පතල් තුළ සිරකරුවන් සේවයේ යෙදවීම පිළිබඳ මිට්සුබිෂි සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක හිකරු කිමුරා කනස්සල්ල පළ කර සිටියේය.

Image copyright AP
Image caption ඒ වචන අපේ හදවතට දැනුණා - ජේම්ස් මර්ෆි

එවකට ජපාන සිර අඩස්සියේ සිටි දිවි බේරා ගත් දැනට ජීවතුන් අතර සිටින කිහිප දෙනෙකුගෙන් එක් අයකු වන ජේම්ස් මර්ෆි එසේ සමාව අයැද සිටීම අගය කළේය.

‘මම කිමුරා මහත්මයාගේ සමාව අයැද සිටීමේ නිවේදනයට හොදින් ඇහුම්කන් දුන්නා. මට තේරුණා එය ඉතාමත් විශ්වසනීය, නිහතමානී ප්‍රකාශයක් බව. පළමු වරටයි අපට මෙවැනි දෙයක් අසන්ට ලැබුණේ. ඒ වචන අපේ හදවතට දැනුණා’ ජේම්ස් මර්ෆි සිය හැඟීම විස්තර කළේ එලෙසින්.

සිරකරුවන් බලහත්කාරයෙන් කම්කරු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ජපාන සමාගමක් සමාව අයැද සිටි පළමු අවස්ථාව මෙය බවටයි විශ්වාස කෙරෙන්නේ.

මීට වසර පහකට ඉහතදී, ඇමරිකානු සිරකරුවන් සම්බන්ධයෙන් ජපාන ආණ්ඩුව සමාව අයැද සිටියේය.