ජනපති ඔබාමා උණුසුම් ප්‍රතිචාර මැද කෙන්යානුවන් අමතයි

Image copyright no credit

කෙන්යාවේ සංචාරයක යෙදී සිටින ඇමරිකානු ජනපති බරක් ඔබාමා නයිරෝබි අගනුවර ක්‍රීඩාංගණයකට රැස්ව සිටි දහස් සංඛ්‍යාත කෙන්යානුවන් ඇමතුවේය.

දහස් සංඛ්‍යාත ජනතාවගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ජනපති ඔබාමා සිය දේශනය ආරම්භ කරමින් කියා සිටියේ කෙන්යාවේ සංචාරය කළ පළමු ඇමරිකානු ජනපතිවරයා බවට පත් වීමට හැකි වීම පිළිබඳ තමා ආඩම්බර වන බවයි.

කෙන්යානු සම්භවයක් සහිත ප්‍රථම ඇමරිකානු ජනපතිවරයා බවට පත් වීමට හැකි වීම පිළිබඳවත් තමා ආඩම්බර වන බව ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙන්යාවේ පවතින වර්තමාන ආර්ථික වර්ධනය අගය කළ ජනපති ඔබාමා නමුත් දූෂණ හේතුවෙන් රැකියා අවස්ථාවලට තර්ජන මතු වී ඇති බවයි කියා සිටියේ.

Image copyright Reuters

ගෝත්‍රවාදය පදනම් කර ගත් දේශපාලනය, ජනපතිවරයා හැඳින්වූවේ රට හමුවේ ඇති අනතුරක් ලෙසයි.

තරුණ පරපුර මත රටේ අනාගතය තීරණය වන බවත් ජනපති ඔබාමා එහිදී පැවසීය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදු කරනු ලබන විවාහයන්, කාන්තා ලිංගේන්ද්‍ර චර්මඡේදනය සහ දරුවන් පාසල් නොයැවීම යනාදී කරුණු ‘නුසුදුසු සම්ප්‍රදායන්’ ලෙස හැඳින්වූ ඇමරිකානු ජනපති බරක් ඔබාමා, එවැනි දෑ හෙළා දකින බවත් සඳහන් කළේය.