මුල්ලා ඔමාර් යනු කවරෙක්ද?

ඇෆ්ගනිස්තානයේ තාලිබාන් නායක මුල්ලා ඕමාර් මිය යයි.

එහෙත් තාලිබාන් සංවිධානය විසින් එය තහවුරු කොට නොමැත.

ඇෆ්ගනිස්තාන රජය සහ ඔත්තු සේවා පවසන්නේ සැඟවී සටන් කළ තලිබාන් නායකයා මීට වසර දෙකකට පෙර මිය ගොස් ඇති බවයි.

මුල්ලා ඔමාර් මිය ගිය බවට මීට පෙරද වාර්තා පලවී තිබිණ.

එහෙත් ඔහු මිය ගිය බව ඇෆ්ගනිස්තාන රජය තහවුරු කළ පළමු වතාව මෙයයි.

මුල්ලා ඔමාර් යනු කවරෙක්ද?

සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු හට ගත් සිවිල් යුද්ධයේ දී ඇෆ්ගනිස්තානයේ ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කණ්ඩායම් අතර සටන් ඇවිලිණ.

සියලු සන්නද්ධ කණ්ඩායම් පරදවා ජය ලැබුවේ මුල්ලා ඔමාර් නායකත්වය දුන් තාලිබාන් සංවිධානයයි.

මුල්ලා ඔමාර්ගේ නායකත්වය යටතේ තාලිබාන් සංවිධානය ජයග්‍රහණ රැසක්ම අත් කර ගත්තේය.

Image copyright epa

මුල්ලා ඔමාර් සහ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අතර පැවති සම්බන්ධය ඇමරිකාව දුටුවේ විශාල තර්ජනයක් ලෙසට.

නිව්යෝර්ක් සහ වොෂින්ටන් 9/11 ප්‍රහාරයෙන් පසු, 2001 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්නේ ඒ හේතුවෙන්.

එතැන් පටන් මුල්ලා ඔමාර් සැඟවුණු ජීවිතයකුයි ගත කළේ.

ඔහු අත් අඩංගුවට ගැනීමට ඔත්තු සපයන ලෙසට ඉල්ලා, ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 10 ක මුදලක් ද ප්‍රදානය කරන බව ප්‍රකාශයට පත් කෙරිණ

පසුගිය වසර ගණනාව පුරාම තාලිබාන් සංවිධානය මුල්ලා ඔමාර් ගේ බව පැවසෙන පණිවිඩ ගණනාවක් නිකුත් කළේය.

සාම සාකච්ඡා

ජුලි මැද භාගයේදී නිකුත් කළ අලුත්ම ප්‍රකාශනයක් මගින් මුල්ලා ඔමාර් ප්‍රකාශ කළේ තාලිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්තාන රජය අතර සාම සාකච්ඡා සඳහා සහය දක්වන බවයි.

නමුත් එම පණිවිඩය නිකුත් කොට තිබුණේ ලිඛිත පණිවිඩයක් ලෙස මිස හඬ පටයක් හෝ වීඩියෝ පටයක් නොවූ නිසා මුල්ලා ඔමාර් මිය ගොස් හෝ බල රහිත වීමක් පෙන්නුම් කරන බවට රාවයක් පැතිර ගියේය.

තාලිබාන් සංවිධානය පවසන ආකාරයට ඔහු කන්දහාර් පළාතේ චාහි හිමාත් ගම්මානයේ උපත ලද්දේ 1960 දීයි.

සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයට පැමිණීමත් සමඟ ඔහු සිය මද්රාසා පාසල් අධ්‍යාපනය අත්හැර ආගමික යුතුකම් ඉටුකිරීම පිණිස ජිහාඩ් වාදියකු බවට පත්වූ බවයි තාලිබාන් සංවිධානය පවසන්නේ.

1980 දශකයේ දී ඇෆ්ගනිස්තානය සෝවියට් හමුදා විසින් අත්පත් කර ගැනීමට එරෙහිව සටන් වැදුණු ඔහුගේ එක ඇසක් මූනිස්සන් එල්ලවීමෙන් තුවාල විය.

1996 දී ඔහු තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයා බවට පත් විය.