මුත්‍රා කරන්න පෙර සිතා බලන්න

එළිමහනේ ඇති තාප්පයක් හෝ බිත්තියක් මතට මුත්‍රා කිරීම දකුණු ආසියාතිකයන්ට නම් හුරු පුරුදු දර්ශනයක් විය හැකියි.

නමුත් කැලිෆෝනියාවේ ශාන්ත ෆ්රැන්සිස්කෝ නගරයේ දී ඔබට එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙවරක් හිතා බලන්නට සිදු වනු ඇත.

අවවාදයයි ; ශාන්ත ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති බිත්තියක් මතට ඔබ මුත්‍රා කළහොත් එය නැවත ඔබ කරා පැමිණිය හැක.

නගරයේ මුත්‍රා කිරීම වළක්වා ගැනීම සඳහා සිතුවම් සවි කිරීමේ නව වැඩපිළිවෙළක් ශාන්ත ෆ්‍රැන්සිස්කෝ බලධාරීහු අත්හදා බලමින් සිටිති.

කවුරුන් හෝ අදාළ චිත්‍රය සහිත බිත්තිය වැසිකිළියක් බවට පත් කිරීමට උත්සහ කරයි නම් ඔහු වෙත යළි මුත්‍රා පහර එල්ල වන බව චිත්‍රයෙන් පිළිඹිබු වෙයි.

‘දරා ගන්න'

‘අල්ට්‍රා ඒවර් ඩ්‍රයි’ ලෙස නම් කර ඇති මෙම සිතුවම බිත්තියේ සවි කිරීම මගින් බිත්තිය ඉදිරිපස වාතය රැඳීමෙන්, මුත්‍රා කළහොත් එම වාතය ප්‍රතික්‍රියා වී මුත්‍රා කළ පුද්ගලයා දෙසට යළි එල්ල වන බව මෙහි නිර්මාණ කරුවෝ පවසති.

මේ වන විට බිත්ති නවයක මෙම චිත්‍ර ප්‍රදර්ශනය කර තිබේ.

ඉංග්‍රීසි, චීන හා ස්පාඤ්ඤ භාෂා වලින් මෙහි සංඥා පුවරුවල දක්වා ඇත්තේ ‘දරා ගන්න, නියමිත ස්ථානයකට ගොස් සහනය ලබා ගන්න’ යනුවෙනි.

මුත්‍රා කිරීමෙන් අපිරිසිදු කළ පෙදෙස් පවිත්‍ර කිරීමට සේවකයින් යෙදවීමට වඩා බිත්තිවල මෙම චිත්‍ර සවි කිරීම ලාභදායක බවයි පැවසෙන්නේ.