අන්තර්ජාල අතීතයෙන් මිදෙන්න ‘ඩිලීට්' බොත්තමක්

Image copyright AFP

අවුරුදු දහ අටෙන් පහළ යෞවන යෞවනියන්ට සිය අන්තර්ජාල අතීත සටහන් මකා දැමීම සඳහා ඉඩ තිබිය යුතු බව බ්‍රිතාන්‍ය ක්‍රියාකාරකයින් පිරිසක් කියා සිටියි.

දැනටමත් අවුරුදු පහක තමන්ගේ අන්තර්ජාල අතීත සටහන් මකා දැමීම පිළිබඳව නීති රීති සම්මත කර ගැනීමට කතාබහක් යුරෝපය තුල ඇති වී තිබේ.

‘අයි රයිට්ස්’ ක්‍රියාකාරකයින් කියා සිටින්නේ යෞවන යෞවනියන්ට තමන් මීට පෙර අන්තර්ජාලයේ පල කරන ලද ඡායාරූප, දෙබස්, වැනි ප්‍රකාශන සංස්කරණය කිරීමට හෝ සම්පුර්ණයෙන්ම මකා දැමීමට ඉඩ දිය යුතු බවයි.

බ්‍රිතාන්‍යයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා මේ පිළිබඳව සිය සහයෝගය පල කොට ඇත.

අත්හදා බැලීමට ඉඩක්

තමන්ට ලැජ්ජාව හෝ අපහසුවක් ගෙන දෙන පෞද්ගලික තොරතුරු වැඩි අපහසුවකින් තොරව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ඉඩ දිය යුතු බවයි ‘අයි රයිට්ස්’ සංවිධානයේ නිර්මාතෘ බීබන් කිඩ්රෝම් බීබීසියට කියා සිටියේ.

Image copyright THINKSTOCK

එසේ නොකළහොත් දරුවෙකු අවුරුදු 14දී හෝ 15දී කළ කී යමක් හේතුවෙන් අසාධාරණ විනිශ්චයකට ලක් වීමට ඉඩ තිබෙන බවයි.

අත්හදා බැලීමට තිබෙන ඉඩකඩ ළමයකුගේ මානසික වර්ධනය සහ පෞරුෂය සංවර්ධනයේ වැදගත් අංගයක් වුවත් අන්තර්ජාලය අතීතය අමතක නොකරන අතරම වැරදි හදා ගැනීමට ඉඩක් නොදෙන බවයි බීබන් කිඩ්රෝම් පෙන්වා දෙන්නේ.

ඩිජිටල් අතීතය ඉවත් කිරීම පිළිබඳ කෘතියක් පල කොට ඇති ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වික්ටර් මේයර් ස්කොන්බර්ග් කියා සිටින්නේ ඩිජිටල් යුගයක මතක තබා ගැනීම පෙරට පැමිණ අමතක කිරීම යටපත් වී ඇති බවයි.

අතීතයේදී එක්රැස් කර ගත් තොරතුරු ඉවත දමන සම්ප්‍රදායක් තිබුණු නමුත් වර්තමානයේ පවතින්නේ එක්රැස් කර ගන්නා තොරතුරු ගබඩා කර සදහටම පවතින සාමූහික මතකයක් ගොඩ නගන සම්ප්‍රදායකි.

ට්විටර්, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වලින් යම් යම් තොරතුරු ඉවත් කර ගැනීමේ හැකියාව තිබුනත් ඒවා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඔස්සේ නැවත මතු වීමට ඉඩ තිබේ.

ස්පාඥ්ඥය ඉදිරියෙන්

මෙම තත්වය යටතේ හුදෙක් යමකු ලැජ්ජාවට පත් කරන තොරතුරු පමණක් නොව අපරාධ වලට වැරදි කරුවන් වීම සහ නඩු විභාග වල තොරතුරුත් ඇතුළත් විය හැකිය.

පාසල් වියේ දී ලිංගික ප්‍රචන්ඩතා වලට සහ තාඩන පීඩන වලට ලක් වන දරුවන්ගේ අමිහිරි මතකයන් අන්තර්ජාලයේ සදහටම පවතින මතකයක් වීම ගැටළුකාරී තත්වයක් බව ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

අන්තර්ජාල අතීතය අමතක කිරීම අතින් ස්පාඥ්ඥය වැදගත් ඉදිරි පියවර ගණනාවක් ගෙන ඇත.

ස්පාඥ්ඥයේ නීතිඥයෙකු වන මාරියෝ කොස්ටෙජා ගොන්සාලිස් පැවරූ නඩුවක් මගින් ගූගල් සමාගමට තොරතුරු සුරැකිව තබා ගැනීමේ අයිතියට අභියෝග කළේය.

මෙම නඩුව ස්පාඥ්ඥ නීතිවේදියාගේ වාසියට තීන්දු විය.

1998 දී ස්පාඥ්ඥ පුවත්පතක් වූ ‘ලා වැන්ගාඩියා’ කොස්ටෙජා ගොන්සාලිස් මුදල් අමාරුකම් හේතුවෙන් තම නිවාසය විකිණූ බවට වාර්තාවක් පල කරනු ලැබීය.

එම වාර්තාව ඔහු සිය ණය ගෙවා අවසන් කොට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමෙන් පසුවත් අන්තර්ජාලයේ සෙවුම් ප්‍රතිඵල ඔස්සේ මතු වීම තමන්ගේ කීර්තිනාමයට සහ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපාන බවටයි ඔහු අධිකරණය හමුවේ පැමිණිලි කළේ.

එම තර්කය පිළිගත් අධිකරණය මෙම සිදුවීමට අදාළ විස්තර ගූගල් සෙවුම් යන්ත්‍ර වලින් ඉවත් කල යුතු බවට නියෝග කල අතර යුරෝපීය රටවල ජීවත් වන පුරවැසියන් හට තොරතුරු ඉවත් කර ගැනීමේ ඉල්ලීමක් ගූගල් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තිබිය යුතු බවට නියෝග කළේය.

මෙම තීන්දුවෙන් පසු තමන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීමේ ඉලීම් 150000ක් ඉදිරිපත් වූ අතර එයින් අඩකටත් වඩා ගූගල් සමාගමට මේ වන විට ඉවත් කිරීමට සිදු වී තිබේ.

ඩිලීට් බොත්තමට අභියෝග

පෞද්ගලිකත්වය රැකීමේ අයිතිය යටතේ තොරතුරු සැඟවීමට ලැබෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න මතුවී තිබේ.

Image copyright GETTY IMAGES

මහජනයාට තොරතුරු දැන ගැනීමට තිබෙන නිදහස සහ ප්‍රකාශන අයිතියට තිබෙන නිදහස අතර තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් ඩිලීට් බොත්තම එබීමේ නිදහස භාවිතයට නැංවීමේ ගැටළු මතු වී ඇත.

ස්පාඥ්ඥ ‘ලා වැන්ගාඩියා’ පුවත්පත තොරතුරු නිසි ලෙස වාර්තා කර තිබුණ හෙයින් එම වාර්තාව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට නියෝග කිරීම තුලින් එම මාධ්‍ය ආයතනයේ ප්‍රකාශන අයිතියට ඇඟිලි ගැසීමක් සිදු වී ඇති බවට ඇතැම් කණ්ඩායම් තර්ක කරති.

තොරතුරු ප්‍රකාශන නිදහස පිළිබඳව කටයුතු කරන ‘ආර්ටිකල් 19’ සංවිධානයේ ජේෂ්ඨ නීතිවේදි ගර්බ්රියාලේ ගුලිමන් කියා සිටින්නේ අන්තර්ජාලයෙන් පෞද්ගලික තොරතුරු සදහටම ඉවත් කිරීමට ඩිලීට් බොත්තමක් හඳුන්වා දීම ප්‍රකාශන නිදහස අවසන් කරන තුරුම්පුව නොවිය යුතු බවයි.