වසර 68කට පසු පුරවැසිභාවයේ ප්‍රතිලාභ ලබන ඉන්දු බංග්ලා වැසියෝ

Image copyright bbc
Image caption 74 වන වියේ පසු වන මොහොමඩ් මන්සූර් අලි

“මේ බලන්න මෙන්න මේ පුංචි තිතේ තමයි අපි ජීවත් වෙන්නේ, අපේ දූපත අයිති බංග්ලාදේශයට නමුත් ඉන්දියාවෙන් වටවෙලා” මොහොමඩ් මන්සූර් අලි නම් බංග්ලාදේශ වැසියා පැරණි සිතියමකට සිය ඇඟිල්ල දිගු කරමින් තමන් ජීවත් වන ප්‍රදේශය පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වැසියන් දහස් ගණනක් කුඩා දුපත් වල ජීවත් වන අතර මෙම දුපත් එක් රටක පිහිටා තිබුනත් අයත් වන්නේ තවත් රටකටයි.

අන් රටක සීමාවකින් වට වූ ප්‍රාන්තය (Enclaves) නැතහොත් රටක් තුල පවතින වෙනත් රටකට අයත් භුමි ප්‍රදේශයක් ලෙසයි මෙම තත්වය හඳුන්වනු ලබන්නේ.

සංකීර්ණ දේශසීමා

ශතවර්ෂ දෙකක විවාදයකින් පසු මේ වන විට ඉන්දියා සහ බංග්ලාදේශ රජයන් සිය රට වලට අයත් ගැටලුකාරී භූමි භාග හුවමාරු කර ගෙන සිය වැසියන්ට සහනයක් ලබා දීමට එකඟ වී තිබේ.

ඉන්දියා සහ බංග්ලාදේශ රජයන් එලෙස සිය භුමි භාග හුවමාරු කරගැනීමේ එකඟතාවයට අද (31) රාත්‍රියේ අත්සන් තැබීමට නියමිතව තිබේ.

එම කුඩා දුපත් වල ජීවත් වන වැසියන් මෙතෙක් මුහුණ පෑ ගැටළු සහා සිය අත්දැකීම් බීබීසී වාර්තා කරු සන්ජෝයි මජුම්දර් සටහන් කළේ මේ ආකාරයෙනි.

Image copyright Getty

මොහොමඩ් මන්සූර් අලි මේ වන විට 74 වන වියේ පසු වන අතර ජීවත් වන්නේ බටහිර බෙංගාලයේ නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්තයකින් වටවූ ‘පොවාතුර්කුට්ටීර්’ බංග්ලාදේශ දූපතෙයි.

මෙලෙස රටක දේශ සීමා වලින් කොටු වූ ප්‍රදේශ වල ජීවත් වන ජනතාව 50,000 කට අධික බවයි ගණන් බලා තිබෙන්නේ.

දහ අටවන සියවසේ පැවති රාජධානි සිය ප්‍රතිවිරුද්ධ රාජ්‍යයන් සමග එකඟතා වලට පැමිණි සාම ගිවිසුම් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය ඇතිවූ බවයි පැවසෙන්නේ.

එලෙස ඇතිවූ ඇති සංකීර්ණ දේශසීමා ශතවර්ෂ දෙකකට වඩා වැඩි කාලයක් එලෙසම පැවති අතර ගැටලුවට විසඳුමක් සැපයීමට රටවල් දෙකේම රජයන් එකඟතාවයකට පැමිණීමට සමත් වී තිබුනේ නැත.

Image copyright Getty

මොෂල්ඩන්ගා නම් තවත් කොටු වූ දූපතක ජීවත් වන සයිනල් අබේර්දීන් පැවසුවේ ‘ආණ්ඩු වලට අපිව අමතක වෙලා, මෙච්චර අවුරුදු ගණනකට අපි ඉන්දියාවයි බන්ග්ලාදේශයයි පයින් ගහන පාපන්දුවක් වෙලයි හිටියේ’ යනුවෙනි.

මේ වන විට ඉන්දියාව සහ බංග්ලාදේශය එකඟ වී තිබෙන්නේ, බංග්ලාදේශයේ ඇති ඉන්දියාවට අයත් දූපත් බංග්ලාදේශය යටතට ගැනීමට සහ ඉන්දියාවේ ඇති බංග්ලාදේශ භුමි ප්‍රදේශ වල පාලනය ඉන්දියාව යටතට ගනීමටයි.

සිය රටට යා නොහැකි පුරවැසියෝ

74 වන වියේ පසු වන මොහොමඩ් මන්සූර් අලි කියා සිටියේ ‘මගේ ජීවිත කාලයේ ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය කියන රටවල් තුනම නිදහස ලබනවා දැකලා තියෙනවා නමුත් අපිට කවදාවත් නිදහසක් හිමි වුනේ නැහැ, අවුරුදු 68ක් ගියා අපිට ඒ නිදහස ලබන්න’ යනුවෙනි.

‘පොවාතුර්කුට්ටීර්’ දූපත ඉන්දු බංග්ලාදේශ සීමාවෙන් කිලෝමීටර් අටක් වැනි කෙටි දුරකින් පිහිටියත් එය ඉන්දියානු භූමියෙන් වට වී තිබෙන නිසා එහි වැසියන්ට සිය පුරවැසි භාවය හිමි බංග්ලාදේශයට යාමට හැකියාවක් තිබුණේ නැත.

මෙයින් පැහැදිලි කෙරෙන ප්‍රධාන කරුණ වන්නේ එම දුපත් වල සිටින ජනතාවට විදුලි බලය, පානීය ජාල සැපයුම්, පාසල් පමණක් නොව රෝහල් පහසුකම් ලබා ගැනීමට පවා හැකියාවක් තිබුණේ නැත.

එම දූපතක වැසියෙක් බීබීසියට කියා සිටියේ සිය ප්‍රදේශයේ වැසියන්ට කිසිදු හැඳුනුම් පතක් හෝ හඳුනා ගැනීමේ ලියවිල්ලක්වත් නොමැති බවයි.

එබැවින් සිය දූපතේ සීමාව පසු කොට ඉන්දියානු භූමිය හරහා සිය රට වන බංග්ලාදේශයට යාමට නම් තමන්ට වංචනික ලෙස සපයා ගත් හැඳුනුම්පත් භාවිතා කිරීමට සිදු වන අතර අත්අඩංගුවට පත්වීමේ භයෙන් සදාකාලිකව පීඩා විඳීමට සිදුව තිබුණි.