තාලිබාන් නායකත්වය 'තහවුරු කිරීමට' වීඩියෝවක්

Image caption මුල්ලා අක්තාර් මන්සූර් සහ මුල්ලා ඕමාර්

තාලිබාන් සංවිධානය පැවැත්වූ සාකච්ඡාවක දර්ශන බවට පෙනී යන දුර්ලභ වීඩියෝ පටයක් එම සංවිධානය විසින් නිකුත් කොට තිබේ.

එම වීඩියෝ දර්ශන නිකුත් කරනු ලැබ තිබෙන්නේ තාලිබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලා ඕමාර්ගේ මරණයත් සමග එම සංවිධානය දෙකඩ වීම සම්බන්ධයෙන් වාර්තා පළ වෙමින් තිබෙන අතරවාරයේ.

තාලිබාන් සංවිධානයේ හිටපු ප්‍රධානි මුල්ලා ඕමාර් මිය ගිය බව ස්ථිර වශයෙන් නිවේදනය කිරීමත් සමග එම සංවිධානයේ නව නායකයා ලෙස මුල්ලා අක්තාර් මන්සූර් නම් කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.

ඉහත කී සාකච්ඡාවට එක් වී සිටි සිය ගණනක් සාමාජිකයින් නව නායක මුල්ලා අක්තාර් මන්සූර්ට පක්ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කරන ආකාරය වීඩියෝ දර්ශනයේ ඇතුළත් බවයි සඳහන් වන්නේ.

නමුත් එම වීඩියෝ දර්ශන තුළ අභිනව තාලිබාන් නායකයාගේ රුව දක්නට නොලැබේ.

Image copyright AFP
Image caption ඇෆ්ගනිස්තාන තාලිබාන් සටන්කරුවෙක්

මේ අතර තාලිබාන් උත්තරීතර නායකත්ව මණ්ඩලය කියා සිටියේ නව නායකයා පත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් ලැබී නැති බැවින් එම පත් කිරීම පිළිගත නොහැකි බවයි.

වීඩියෝ පටය නිකුත් කිරීම, තාලිබාන් සංවිධානය තුළ මුල්ලා අක්තාර් මන්සූර්ට විශාල සහයෝගයක් ඇති බව සනාථ කිරීමේ උත්සාහයක් ලෙසිනුයි, වාර්තාකරුවන් විග්‍රහ කරන්නේ.

වීඩියෝ දර්ශන සහ ඡායා රූප භාවිත කිරීමට සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තාලිබාන් සංවිධානයෙන් පලවන්නේ ප්‍රබල විරුද්ධත්වයක්.

Image copyright BBC World Service

මේ අතර ඇෆ්ගනිස්ථාන තාලිබාන් සංවිධානය නොනවත්වා සටන් කරනු ඇති බව අවධාරණය කළ මුල්ලා අක්තාර් මන්සූර් ඒ සඳහා එක්සත් වන මෙන් සිය ආධාරකරුවන්ගෙන් මීට ඉහතදී ඉල්ලා සිටියේය.

ඇෆ්ගනිස්තාන රජය සමග සාම සාකච්ඡා පවත්වන බවට පළ කෙරුණු තොරතුරු සිය සතුරා විසින් පතුරවන ලද කට කතාවක් වන අතර සිය ස්ථාවරයේ වෙනස් සිදු නොවනු ඇති බවත් මුල්ලා අක්තාර් මන්සූර් නිවේදනය කළේ හඬ පටයක් ඔස්සේයි.