ඉන්දියාවේ අසැබි වෙබ් අඩවි තහනම ඉවතට

Image copyright Getty

අසැබි වීඩියෝ වෙබ් අඩවි තහනම් කිරීමෙන් ඇතිවූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් නැවතත් එවැනි වෙබ් අඩවි 857 කට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගනියි.

සුචරිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ දරණ බවට ජනතාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය රජය කියා සිටින්නේ තහනම පැනවීමට හේතුව මෙවන් අසැබි වෙබ් අඩෙවි වලින් දරුවන් ඉවත් කර තැබීම බවයි.

දරුවන් යොදාගෙන නිර්මාණය කෙරෙන අසැබි වීඩියෝ පට වැළැක්වීමට පියවර ගැනීමට, ඉන්දීය රජයට ඇති නොහැකියාව ජූලි මාසයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විවේචනයට ලක් විය.

අසැබි ළමා වීඩියෝ

ඉන්දියාවේ තොරතුරු සහ තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් පසුගිය අඟහරුවාදා අන්තර්ජාල පාලක බලධාරීන් හමු වූ අතර ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

Image copyright AP

පසුව අන්තර්ජාල පහසුකම් ලබා දෙන සේවා සැපයුම් කරුවන්ට අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් උපදෙස් ලබා දුන්නේ දරුවන් ඇතුළත් අසැබි වෙබ් අඩවි හැරුණු කොට අනෙක් අසැබි වෙබ් අඩවි වලට පනවා තිබෙන තහනම ඉවත් කර ගන්නා ලෙසයි.

ඉන්දීය අන්තර්ජාල සේවා සපයන්නන්ගේ සංගමය ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට පවසා තිබෙන්නේ, ‘රජය කොහොමද අපිට ඒ වගේ වගකීමක් පටවන්නේ, මොන වෙබ් අඩවියේද කුඩා දරුවන්ව අසැබි වීඩියෝ වල ඇතුළත් කරන්නේ? මොන වෙබ් අඩවිද එහෙම නොකරන්නේ කියලා.’ යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දීය රජය කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට ගරු කිරීමක් ලෙසත්, අන්තර්ජාලය හරහා සිදු වන තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් සිදු නොකිරීමත් සලකා බලා අදාළ පියවර ගනු ලැබූ බවයි.