තෙරපීමකින් හින්දු භක්තිකයෝ මියයති

නැගෙනහිර ඉන්දියාවේ චාර්කන්ඩ් ප්‍රාන්තයේ කෝවිලක හට ගත් තෙරපීමකින් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් විසි දෙනෙකු තුවාල ලබා තිබේ.

හින්දු ආගමික උත්සවයක් සැමරීම සඳහා විවිධ ප්‍රදේශ වලින් වන්දනා කරුවන් කෝවිල වෙත පැමිණ ඇති අතර තෙරපීම සිදු වී තිබෙන්නේ වන්දනා කරුවන් කෝවිල් පරිශ්‍රය තුළට ඇතුළු වීමට උත්සාහ දැරූ අවස්ථාවේ බවයි ප්‍රාන්ත බලධාරීන් බීබීසි හින්දි සේවයට පැවසුවේ.

‘බෙයිදනාත ජෝතිර්ලිංග’ කෝවිල වැඳ පුදා ගැනීමට සඳුදා දිනය ඉතා ශුභ බවයි විශ්වාස කෙරෙන්නේ.

කිලෝමීටර් 6ක් දිග පෝලිමක්

එබැවින් අද සඳුදා උදෑසන කෝවිල විවෘත්ත වීමත් සමගම වන්දනා කරුවන් සියලු දෙනාම කෝවිල් පිවිසුම දෙසට ගමන් කිරීමට උත්සාහ කළ බැවින් තෙරපුම හටගත් බවයි AFP පුවත් සේවය වාර්තා කළේ.

Image copyright EPA
Image caption ඉන්දියාවේ හින්දු ආගමික උත්සව වලදී තෙරපීමෙන් බොහෝ වන්දනා කරුවෝ මිය යති.

‘බෙයිදනාත ජෝතිර්ලිංග’ කෝවිල ශිව දෙවියන් වෙනුවෙන් වෙන් වී ඇති අතර ප්‍රධාන කෝවිල් ගොඩනැගිල්ලට අමතරව කුඩා කෝවිල් විසි එකකින් සමන්විතයි.

කෝවිලට ඇතුළු වීම සඳහා කිලෝමීටර් හයක් දිග පෝලිමක වන්දනාකරුවන් පෙර දා රාත්‍රියේ සිට පෙළ ගැසී සිටි අතර ඔවුන් රාත්‍රියේ නිදා ගෙන තිබෙන්නේද එම ස්ථානයේ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ප්‍රාධාන් කියා සිටියේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘රතන්ගර්’ කෝවිලේ ඇති වූ තෙරපීමකින් කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු අනූ එක් දෙනෙකු මිය ගියහ.