ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තුර්කියට ප්‍රහාර මාලාවක්

ඉස්තාන්බුල් අගනුවර බෝම්බ පිපිරීමක් සිදු වී ඇති අතර තවත් ප්‍රහාර දෙකකට හසු වී පොලිස් නිලධාරීන් අට දෙනෙකු මරුමුවට පත් විය.

ප්‍රහාරකයින් දෙදෙනකු විසින් ඉස්තාන්බුල් අගනුවර පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලයෙන් පිටත වෙඩි තැබීමක් සිදු කොට ඇති අතර ඉන් කිසිවකුටත් හානි වී නොමැත.

සර්නක් පළාතේ මාර්ගයක් අසල බෝම්බයක් පුපුරා යෑම හේතුවෙන් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් මරුමුවට පත් වූහ.

ඉන් ස්වල්ප වෙලාවකට පසු හමුදා හෙලිකොප්ටර් යානයක් වෙත තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමකින් එක් හමුදා භටයකු මරුමුවට පත් විය.

Image copyright AFP

තුර්කි ආණ්ඩුව සහ කුර්දි සටන්කරුවන් අතර පවතින උණුසුම්කාරී වාතාවරණය ඉහළ ගොස් තිබේ.

ඉස්තාන්බුල් අගනුවර සිදු වූ ප්‍රහාරයන් දෙක එකිනෙකට සම්බන්ධ දැයි යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැත.

ඇමරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීම් සිදු කළ ප්‍රහාරකයන් පොලිස් ප්‍රතිප්‍රහාර මධ්‍යයේ පළා ගොස් තිබේ.

ප්‍රහාරකයන් දෙදෙනාගෙන් එක් අයකු බවට විශ්වාස කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Image copyright AP

සටන්කරුවන් පොලිස් ස්ථාන කිහිපයක් ඉලක්ක කොට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති අතර රාත්‍රිය පුරා එම ස්ථාන අවට වෙඩි හුවමාරු වී තිබේ.

එම ගැටුම්වලින් එක් පොලිස් නිලධාරියෙක් මරුමුවට පත් විය.

සිලොපි පළාතේ සිදු වූ පිපිරීමකට හසු වී තවත් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් මරුමුවට පත් වූහ.

මේ අතර PKK කුර්දි කැරලි කණ්ඩායම් ඉලක්ක කර තුර්කි හමුදා ගුවන් ප්‍රහාර එල්ල කොට තිබේ.