කොරියානු රාජ්‍යයන් අතර දරුණු ගැටුම්

Image copyright EPA

දකුණු කොරියාවේ බටහිර දේශ සීමාවට ආසන්නයේ වෙසෙන වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස එරට බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

උතුරු කොරියාව සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් පසුවයි දකුණු කොරියාව විසින් මෙම පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ.

අගෝස්තු විසි වන බ්‍රහස්පතින්දා උතුරු කොරියාව විසින් සිය හමුදා ඒකකයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ප්‍රතිප්‍රහාර ලෙස උතුරු කොරියාවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය වැඩි දුරටත් කියා සිටියේ.

මේ සිදුවීමෙන් පසු දකුණු කොරියානු ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

කොරියා යුධ අතීතය

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින බටහිර මුහුදු සීමාව දෙරටේ කෝපය ඇවිස්සීමට හේතු වන සාධකයක් බවට පත්ව ඇත.

Image copyright REUTERS

දෙරට අතර හට ගත් ගැටුම හේතුවෙන් මේ දක්වා කිසිම පුද්ගලයෙකු තුවාල ලබා හෝ බරපතළ දේපළ හානි වාර්තා වී නැහැ.

1950 සිට 1953 දක්වා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවති යුද්ධය තාවකාලික යුධ විරාමයක් යටතේ නැවතුන නමුත් සාම ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් ඔවුන් නිල වශයෙන් තවමත් සිටින්නේ යුධ ස්ථාවරයකයි.

පසුගිය වසර කිහිපයක කාලය තුල දෙරට අතර වරින් වර මෙවැනි වෙඩි හුවමාරු වීම් සිදු විය.

ප්‍රාදේශීය දකුණු කොරියානු බලධාරියෙකු AP පුවත් සේවයට කියා ඇත්තේ මේ වන විට බටහිර දේශ සීමාවේ ජීවත් වන වැසියන් අසූ දෙනකු පමණ ඉවත් කිරීමට කටයුතු ගෙන ඇති අතර ඉදිරියේදී තවත් වැසියන්ට වෙනත් ප්‍රදේශ වල සෙවන ලබා දීමට කටයුතු කරන බවයි.