මාධ්‍යවේදීන් ඝාතනය: සැකකරුත් වෙඩි තබාගෙන

එක්සත් ජනපදයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයා තමන්ට ද වෙඩි තබා ගෙන ඇති බව අලුත්ම වාර්තා සඳහන් කරයි.

මෙම පුද්ගලයා ද රූපවාහිනී වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි ප්‍රාදේශීය ගුවන්විදුලි ආයතනයක් වාර්තා කරන්නේ.

ඇතැම් වාර්තා සඳහන් කරන්නේ වෙඩි තබා ගත් සැකකරු තුවාල ලබා තවමත් ජීවතුන් අතර සිටින බවයි.

සජීවී රූපවාහිනී වැඩසටහනක් කරමින් සිටි මාධ්‍යවේදිනියකට සහ කැමරාකරුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි බවට සැක කෙරෙන මෙම පුද්ගලයා තමන්ට වෙඩි තබාගෙන ඇත්තේ ඔහු පසුපස පොලිසිය ලුහුබඳිමින් සිටියදී යි.

Image caption ප්‍රහාරකයා කැමරාවේ සටහන් වී ඇති බවයි පෙනෙන්නේ

ඇමරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ දී සජීවී රූපවාහිනී වැඩසටහනක් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ විසි හතර හැවිරිදි රූපවාහිනී වාර්තාකාරිනී ඇලිසන් පාර්කර් සහ විසි හත් හැවිරිදි කැමරා ශිල්පි ඇඩම් වෝඩ් දෙදෙනායි.

ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සජීවී වැඩසටහන විකාශනය වන අතර තුර කැමරාව බිම වැටී ඇති අතර වෙඩි හඬ සහ මාධ්‍යවේදිනිය කෑ ගසන හඬ අසන්නට ලැබී ඇත.

මෙම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ කාන්තාව වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරා ගෙන තිබේ.

'ස්මිත් මවුන්ටන්' ජලාශය අසල පිහිටා තිබෙන බ්‍රිජ් වෝටර් වෙළඳ සංකීර්ණය තුල සිදු වූ මෙම ප්‍රහාරයේදී අට වතාවක් වෙඩි තැබීම් සිදු වූ බවයි වාර්තා වන්නේ.