සංක්‍රමණිකයන් පිරිසකගේ මළ සිරුරු තොගයක් ලොරියක

Image copyright EPA

ඔස්ට්‍රියාවේ, හංගේරියානු දේශ සීමාවට නුදුරු ප්‍රදේශයක අතහැර දමා තිබුණු ලොරියක තිබී සංක්‍රමණිකයන් පිරිසකගේ මළ සිරුරු තොගයක් සොයා ගෙන තිබේ.

ලොරියේ ශීතකරණ කොටසේ මළ සිරුරු විස්සත් පනහත් අතර සංඛ්‍යාවක් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දින ගණනක් තිස්සේ මෙම මල සිරුරු නරක් වෙමින් පවතින බැවින් ඒවා හඳුනා ගැනීමට නොහැකි තත්වයේ ඇති බවත් එම නිසා සිරුරු ප්‍රමාණය නිශ්චිතව කිව නොහැකි බවත් බලධාරීහු පවසති.

Image copyright

මෙම ලොරියේ අංක තහඩුව හන්ගේරියාවට අයිති එකක් වන අතර පලා ගොස් ඇති රියදුරා සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ වී තිබේ.

සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමේ සහ පුද්ගල ප්‍රවාහන ජාවාරම මැඩලීමේ පොදු යුරෝපීය ප්‍රතිපත්තියක අවශ්‍යතාව මෙම ඛේදවාචකයෙන් පැහැදිලි වන බවයි ඔස්ට්‍රියානු අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසන්නේ.

අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල ඇති යුද වාතාවරණය නිසා යුරෝපයට පලා යන සරණාගතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබේ.

පසුගිය මාසය තුළ පමණක් යුරෝපයට පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.