ඔස්ත්‍රියානු සංක්‍රමණික මරණ සංඛ්‍යාව තවත් වැඩි වෙයි

Image copyright bb

අධිවේගී මාවතක අත්හැර දමා තිබියදී ඊයේ සොයා ගත් ලොරියේ තිබී හැත්තෑවකට අධික මළ සිරුරු සොයා ගත් බව ඔස්ත්‍රියානු ආණ්ඩුව පවසයි.

එම ලොරියේ තිබුණේ මළ සිරුරු තිහටත් පනහටත් අතර සංඛ්‍යාවක් බවයි ඊයේ (270 ඇස්තමේන්තු කෙරුණේ.

හංගේරියානු දේශ සීමාව අසලයි, බදාදා එම ලොරිය දමා ගොස් තිබුණේ.

ලොරියේ පටවා සිටි පුද්ගලයන් දවස් දෙකක කාලයක් ඇතුළත මිය යන්නට ඇති බවයි ඔස්ත්‍රියානු පොලිසියේ විශ්වාසය වන්නේ.

Image caption ජාවාරම්කරුවන් අනවසර සංක්‍රමණිකයන් ගෙනයන මාවතක්

දින ගණනක් තිස්සේ මෙම මල සිරුරු නරක් වෙමින් පවතින බැවින් ඒවා හඳුනා ගැනීමට නොහැකි තත්වයේ ඇති බවත් එම නිසා සිරුරු ප්‍රමාණය නිශ්චිතව කිව නොහැකි බවයි බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ.

මෙය රටින් රටට මිනිසුන් පටවන ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක් හැටියට සැලකෙයි.

පසුගිය මාසය තුළ පමණක් යුරෝපයට පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

තවත් මරණ දෙසීයක්

මේ අතර ලිබියාවෙන් ඔබ්බෙහි මුහුදේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් දිය බත් වීමෙන් දෙසීයක පමණ ජීවිත විනාශයක් සිදු වූ බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) පවසයි .

එම ආයතනයේ ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, යුරෝපයට ගමන් ගැනීමට අදහස් කළ සංක්‍රමණිකයන් පන්සීයක් පමණ එම බෝට්ටුවල ගමන් ගනිමින් සිටි අතර ලිබියානු වෙරළාරක්ෂකයන් දිවි බේරුණ පුද්ගලයන් ගොඩ බිමට ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටි බවයි.

එම සංක්‍රමණිකයන් සිරියානු, බංග්ලාදේශ් සහ උප සහරා අප්‍රිකානු ජාතිකයන් යයි සැලකෙයි.

මෙවැනි බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ලිබියාවට ඇති පහසුකම් දුර්වල බවයි උතුරු අප්‍රිකාවේ බීබීසී වාර්තාකරු පවසන්නේ.

නුසුදුසු බෝට්ටු මගින් සයුර තරණය කොට ඉතාලියට ඇතුල් වීමට උත්සාහ කළ සංක්‍රමණික ජනයා අතරින් දෙදහසකට අධික පිරිසක් මේ වසර ඇතුළත මුහුදුබත්ව විනාශ වූ බව ඇස්තමේන්තු කෙරෙයි.