මැලේසියාවේ අගමැතිට එරෙහිව දැඩි උද්ඝෝෂණ

Image copyright AFP Getty

මැලේසියාවේ අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එල්ල වී ඇති මුදල් වංචා චෝදනා හමුවේ ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් ක්වාලාලම්පුර් නගරයේ දින දෙකක් තිස්සේ විශාල උද්ඝෝෂණයක් පැවැත්වෙයි.

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ද මෙම උද්ඝෝෂණයට එක වී ඇති අතර විරෝධතා කරුවන් සමග ක්වාලාලම්පුර් නගරයේ විරෝධතාවයේ මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ හිටපු අගමැතිවරයා බවයි වාර්තා වන්නේ.

ඊට සමගාමීව ඊයේ 29 වැනිදා ලන්ඩන් නුවර මැලේසියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට එක්රැස් වූ මැලේසියානු ජාතිකයන් දෙදෙහසක් පමණ ද උද්ඝෝෂණයේ නිරත වෙමින් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ඉලා අස් වන ලෙසයි.

ලන්ඩන් නුවර විරෝධතා

බීබීසි සංදේශය සමග මේ සම්බන්ධයෙන් කතා කිරීමට එක් වුණේ ලන්ඩන් නුවර පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ක්‍රියාධාරිනී, නීති විද්‍යා සිසුවියක් වන සෆා සාහීර්.

එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන නජීබ් රසාක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා පවතින දැඩි සංකීර්ණ සහ ප්‍රායෝගික නොවන පාර්ලිමේන්තු ක්‍රියාවලිය හේතුවෙන් ජනතාව සිය හඬ අවදි කිරීමට මෙලෙස පෙළඹී ඇති බවයි ඇය පවසන්නේ.

ක්වාලාලම්පුර් නගරයේ මේ වන විට පවතින තත්වය විස්තර කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ විරෝධතා කරුවන් රාත්‍රිය පුරා කඳවුරු ලා ගෙන උද්ඝෝෂණයේ යෙදී ඇති බවයි.

උද්ඝෝෂකයන් විසින් අග්‍රාමාත්‍ය වරයාගේ පෞද්ගලික බැංකු ගිණුම් වල ඇති ඩොලර් මිලියන ගණනක මුදල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ.