ආබාධිතයකු එල්ලා මැරීමේ ගැටළුවක්

Image caption අබ්දුල් බසිට් බන්ධනාගාරගත කරනු ලැබීමට පෙර.

අධිකරණ තීන්දුවක් අනුව ඊයේ(01) අඟහරුවාදා මරණීය දණ්ඩනයට යටත් කළ යුතුව තිබුණ සිරුරෙන් කොටසක් පණ නැති ආබාධිත සිරකරුවකුට එරෙහි එම දඬුවම ක්‍රියාවට නැංවීමට පාකිස්තානයේ බන්ධනාගාර නිලධාරීන් පියවර නොගත් බවක් වාර්තා වෙයි.

අබ්දුල් බසිට් නම් එම සිරකරු ඊයේ (01)එල්ලා මරා දැමිය යුතු යයි පාකිස්තාන් මහාධිකරණය තීන්දු කර තිබුණි.

බන්ධනාගාර ගතකරනු ලැබීමෙන් පසු චුදිතයාගේ සිරුරේ ඉණෙන් පහළ පණ නැති වූ අතර ඔහු ජීවත් වන්නේ රෝද පුටුවක ආධාරයෙනි.

මිනී මැරුමක් සම්බන්ධයෙන් චෝදනා ලද අබ්දුල් බසිට් මෙයින් අවුරුදු හයකට පෙර එම චෝදනා වලට වැරදිකරු කෙරුණ අතර ඔහු කියා සිටින්නේ තමා එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.

පසුගිය මාසයේ ලාහෝර් බන්ධනාගාරයේ දී ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුනත් එය ක්‍රියාවට නැවීම කල් ගොස් තිබුණි.

මේ අතර ඔහුට සමාව ඉල්ලා ඉදිරිපත් කෙරුණ පෙත්සමක් ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වෙයි.

ජාත්‍යන්තර නීතිය

අබ්දුල් බසිට් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කියා සිටින්නේ තම සේවාදායකයා මරා දමනු ලැබීම කෘර ක්‍රියාවක් වන බවයි.

Image copyright THINKSTOCK
Image caption සිරගෙදරදී ආබාධිතව සිටින අබ්දුල් බසිට්

එසේම පාකිස්තාන් මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුව එවැනි පුද්ගලයකුට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවිය නොහැකි බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

පාකිස්තානය 2014 දෙසැම්බර් වසරේ මරණ දඬුවම නීතිගත කරනු ලැබීමෙන් අනතුරුව මේ වන විට දෙසීයකට අධික පිරිසක් මරා දමනු ලබා ඇත.

පාකිස්තාන් බලධාරීන් විසින් මරණ දඬුවම නීතිගත කරන ලද්දේ ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය උපාංගයක් ලෙස හඳුන්වා දෙමිනි.

බන්ධනාගාර උපදෙස් මාලාව

කෙසේ වුවද, ආබාධිත තත්වයේ සිටින්නකු එල්ලා මරා දැමීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පාකිස්තාන් බන්ධානාගාර උපදෙස් මාලාවේ නොදැක්වෙයි.

මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් බන්ධනාගාර බලධාරීන්ට දැනුම් දී තිබුණේ අබ්දුල් බසිට් සඳහා පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවන්නේනම්, ඒ සඳහා සැප්තැම්බර් පළමු වෙනි දින තෙක් කාලය ලබා දෙන බවයි.

අබ්දුල් බසිට් මරණීය දණ්ඩනයට යටත්වූවන්ගේ පෝලිමේ පසු වෙන අතර එය ක්‍රියාවට නැංවිය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි ක්‍රියාමාර්ග ඉදිරිපත් කෙරෙන තෙක් ඔහුට එරෙහි දඬුවම බලපැවැත්වෙන බවයි බීබීසියේ ෂයිමා කලීල් පවසන්නේ.