සරණාගතයන්ට යුරෝපයේ දොරටු විවෘත වේ

Image copyright Reuters

හංගේරියානු බලධාරීන් විසින් සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචි අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව සහ ජර්මනිය බලා ගමන් ගනිමින් සිටිති.

සිරියානු අර්බුදයෙන් පළා එන සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කළ අතර තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ.

සුහද පිළිගැනීමක්

සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීමත්, රස කැවිලි සහ පානීය ජලය බෙදා දීමටත් ජර්මානුවන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

සරණාගත අර්බුදය දිගටම පවතිනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර කොමසාරිස් ෆෙඩෙරිකා මොහෙරිනි ලක්සම්බර්ග් හී පැවති සාකච්ඡාවක දී අනතුරු අඟවා සිටියාය.

සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියානු දේශ සීමාව අසල රතු කුරුස සංවිධානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යනු ලබන අතර බොහෝ දෙනා වියානා අගනුවර බලා දුම්රියෙන් ගමන් කරමින් සිටිති.

යුරෝපය අවදි විය යුතුයි

Image copyright Getty

බලධාරීන් විසින් අමතර දුම්රිය සහ බස් රථ යෙදීමෙන් පසු සරණාගතයන් 5500 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රියාවේ වියනා අගනුවර බටහිර දුම්රිය පොළ වෙත ප්‍රවාහනය කළ බව ඔස්ට්‍රියානු පොලිස් නිලධාරියෙක් බීබීසී යේ බෙන් බ්‍රවුන් ට ප්‍රකාශ කළේය.

"යුරෝපය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කළ යුතු" යැයි ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු ඇමති ජොහානා මික්ලෙයිට්නර් කියා සිටියාය.

“දැන් යුරෝපා මහද්වීපයට අභියෝගයක් එල්ල වී ඇත. මේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපා මහද්වීපය එකම පිළිතුරක් ලබා දිය යුතුයි," ඇය කියා සිටින්නේ.

සරණ සොයා පැමිණි බොහෝ දෙනා සිරියානුවන් බවයි පැවසෙන්නේ.