දක්ෂතම සිසුවියකට සියලුම විෂයයන්ට ලකුණු බිංදුවයි!

පසුගිය වසරවල පැවති විභාගවලින් මරියම් මලක් සමත් වූයේ ගත හැකි ඉහළම ලකුණු ලබා ගනිමින්.

එම ලකුණු වලට අනුව ඊජිප්තුව තුළ ඉහළ දක්ෂතා පෙන්වන පාසල්වල ඉගනුම ලබන සිසු සිසුවියන් අතර මරියම් ඉදිරියෙන්ම සිටින්නීය.

අවසාන විභාග පරීක්ෂණයේ ලකුණු පිට වීමත් සමග ඉහළ ලකුණු ලබා ගත් සිසුන්ගේ නම් සහිත ලැයිස්තුව තුළ තම නම සෙවූ මරියම් වික්ෂිප්ත වූවාය.

ලැයිස්තුව තුළ ඇගේ නම නොතිබූ නමුත් වෛද්‍ය විද්‍යාලයට යෑමට අවශ්‍ය ලකුණු තමා ලබා ගෙන ඇති බවට මරියම් විශ්වාස කළාය.

නමුත් තමා ඒ ඒ විෂයන්ට ලබා ඇති ලකුණු දුටු මරියම් ට සිය දෑස් අදහාගත නොහැකි විය.

අවසන් විභාග පරීක්ෂණය සඳහා මරියම් ලබා ගත් ලකුණු දෙස බැලීමේදී ඒ පිටුපස අයුක්තිය මෙන්ම දූෂණ අක්‍රමිකතාවක් සිදු වී ඇති බවකුයි පෙනී යන්නේ.

‘මාව කම්පනයට පත් වුනා’ මරියම් බීබීසීයට පැවසුවාය. ‘මට මුකුත් ඇහෙන්නේ නැතිව ගියා. මට කතා කර ගන්න බැරි වුණා. මේක කොහොමද සිද්ධ වුණේ කියලා හිතුවා. කොහොමද මම බිංදුවක් ගත්තේ?’

මරියම් ලකුණු සියයෙන් බිංදුවක් ලබා ගෙන ඇත්තේ එක් විෂයකට පමණක් නොවෙයි.

Image caption මරියම්ට සහාය පළ කිරීම සඳහා පිහිටුවා ඇති ෆේස්බුක් පිටුවේ 30000 කට වැඩි පිරිසක් සාමාජිකත්වය ලබා සිටිති

විභාග පරීක්ෂණයේදී ඈ මුහුණ දුන් විෂයන් හත සඳහාම ඈ ලබා ගෙන ඇත්තේ ලකුණු බිංදුවකි.

ඇය ක්‍රිස්තියානි සුළුතරයට අයත් වීම හේතුවෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලැබී ඇතැයි මීට පෙර කටකතා පළ විය.

නමුත් මේ වන විට මරියම් ලැබූ ලකුණු පිටුපස දූෂණ අක්‍රමිකතාවක් ඇතැයි ඇගේ පවුලේ ඥාතීහු විශ්වාස කරති.

‘හොදින් දක්ෂතා දක්වන්නේ නැති ළමයකුගේ උත්තර පත්‍රයක් සමග මරියම්ගේ උත්තර පත්‍රය මාරු කරන්න පාසල හෝ විභාග දෙපාර්තමේන්තුව කටයුතු කොට තියනවා’ ඇගේ සහෝදරයා පැවසීය.

මරියම්ගේ විභාග ප්‍රතිඵල හා සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඇයට සහාය පළ කිරීම සඳහා පිහිටුවා ඇති ෆේස්බුක් පිටුවේ 30000 කට වැඩි පිරිසක් සාමාජිකත්වය ලබා සිටිති.

තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් මරියම් ඉදිරියට පැමිණීමත් සමග ඒ ආකාරයෙන්ම සියලු විෂයන් සඳහා ලකුණු බිංදුවක් ලබා ගත් තවත් දක්ෂ සිසුවෙක් ඉදිරියට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවයි ඊජිප්තු අගමැතිවරයා පවසන්නේ.